
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව මේ වන විට මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර, මෙම තත්ත්වය සමනය කර ගැනීම පිණිස ආයතනික වියදම් කපා හැරීමට හා සීමා කිරීමට පියවර ගෙන තිබේ.
ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ වියදම් කප්පාදු කිරීම් සහ සීමා කිරීම් බලාත්මක කර ඇත.
සංස්ථාවේ සභාපතිවරයාගේ උපදෙස් පරිදි, සාමාන්‍යාධිකාරීවරයා විසින් මෙම වියදම් පාලනය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත.
ඒ අනුව විවිධ අංශ ඔස්සේ වියදම් කළමනාකරණය කිරීමට පියවර ගෙන තිබේ:
ප්‍රවාහන වියදම් සීමා කිරීම: ආයතන ප්‍රධානීන් ඇතුළු වෙන් කළ වාහනවල රාජකාරී ගමන් හැකිතාක් සීමා කිරීමටත්, ධීවර වරායන් වෙත රාජකාරී සඳහා යොදා ගන්නා සංස්ථා වාහන අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කිරීමටත් උපදෙස් ලබා දී ඇත.
තාක්ෂණය උපයෝගී කර ගැනීම: සාකච්ඡා සඳහා සූම් (Zoom) තාක්ෂණය වැනි මාර්ගගත ක්‍රමවේදයන් උපයෝගී කර ගැනීමට දිරිමත් කර ඇත.
වාර්ෂික දායකත්වයන් අත්හිටුවීම: සේවකයන්ගේ වාර්ෂික විනෝද චාරිකා සඳහා ලබා දෙන සංස්ථා දායකත්වය තාවකාලිකව අත්හිටුවා ඇත.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම: වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්මට හැකිතාක් දුරට අනුගත වීමත්, අමතර ඉල්ලීම් සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම නතර කිරීමටත් තීරණය කර තිබේ.
සේවක සුබසාධන වියදම් සීමා කිරීම: සංස්ථා සේවකයන්ගේ අවමංගල උත්සව සහ මංගල උත්සව සඳහා ලබා දෙන ප්‍රවාහන පහසුකම් තාවකාලිකව අත්හිටුවා ඇත.
මිලදී ගැනීම් සහ මාසික වියදම් පාලනය: අත්‍යවශ්‍ය නොවන මිලදී ගැනීම් හැකිතාක් සීමා කිරීමටත්, මාසික වියදම් දැඩි ලෙස පාලනය කිරීමටත් පියවර ගෙන ඇත.
කාර්යාලීය කටයුතුවලදී පරිසර හිතකාමී වීම: අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකා සකස් කිරීමේදී A4 ප්‍රමාණයේ කඩදාසියේ දෙපසම මුද්‍රණය කිරීමටත්, හැකි සෑම විටම විද්‍යුත් තැපෑල සහ ස්කෑනර් භාවිත කර ලිපි ගබඩා කිරීමටත් උපදෙස් දී ඇත.
මෙම පියවර මඟින් සංස්ථාවේ මූල්‍ය බර අවම කර ගැනීමටත්, වඩාත් කාර්යක්ෂම හා විනයගරුක වියදම් කළමනාකරණයක් ඇති කිරීමටත් අපේක්ෂා කෙරේ.




