
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ‘පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට’ අදාළ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්යක්ෂ ශානි අබේසේකර නම් කර තිබෙන බව නීතිපතිවරයා අද (ජූලි 16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වෙත දැනුම් දුන්නේ ය.
අදාළ නඩුව අද නාමල් බලල්ලේ, මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සඳහන් කළේ, මෙම නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා මෙන් ම විමර්ශන කටයුතු අධීක්ෂණය කළ ශානි අබේසේකර සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කර නොමැති බව ය.
ප්‍රගීත් එක්නැලිගොඩ: නඩු විභාගයට තුන්වන වරටත් නව විනිසුරු මඩුල්ලක් පත් කෙරුණේ ඇයි?
ඔහු සාක්ෂිකරුවකු ලෙස නම් කරන ලෙස 2022 වසරේ නොවැම්බර් මස 29 වන දා තමන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ බවත්, එය සලකා බලන බවට එවකට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් දැනුම් දී තිබූ බවත් ඔහු සඳහන් කළේ ය.
එහෙත් මේ දක්වා ශානි අබේසේකර අදාළ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර නොමැති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.
එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණයට දන්වා සිටියේ, ශානි අබේසේකර මෙම නඩුවේ 109 වන සාක්ෂිකරු වශයෙන් දැනටමත් නම් කර ඇති බව ය.
සාක්ෂිකරුවන් දෙදෙනෙකුට තර්ජන
ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සඳහන් කළේ, මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කර සිටි විශ්‍රාමික යුද්ධ හමුදා සැරයන් රන්බණ්ඩා අධිකරණයට බොරු සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් අගතිදායක සාක්ෂිකරුවෙකු ලෙස නම් කර තිබෙන බව ය.
ඔහු මෙම අධිකරණය හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දීමට පෙර තමන්ට තර්ජන පවතින බවට ඔහු විසින් නිකවැරටිය පොලිසියට පැමිල්ලක් සිදු කරනු ලැබ තිබූ බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
ඔහු අධිකරණය හමුවේ බොරු සාක්ෂි ලබා දුන්නේ එම පැමිණිල්ල සිදු කිරීමෙන් පසුව බව ද ඔහු අවධාරණය කළේ ය.
එබැවින් මෙම කාරණය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම ඉල්ලීම පිළිබඳව කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බලල්ලේ සඳහන් කළේ, එවැනි නියෝගයක් කිරීමට තම අධිකරණයට හැකියාවක් නොමැති බව ය.
අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය: ‘තාත්තට කොච්චර ආදරෙයි ද කියලා මට එයාට කියන්න බැරිවුණා’
කෙසේ වෙතත්, තමන්ට තර්ජනයක් පවතින බවට සාක්ෂිකරු අදාළ අංශවලට පැමිණිලි කළහොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සුදුසු ආයතනවලට හැකියාව තිබෙන බව විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ ය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ද පෙන්වා දුන්නේ, මෙම නඩුවේ තවත් සාක්ෂිකරුවෙකු වන සුමතිපාල සුරේෂ් නමැත්තා තමන්ට එල්ල වී ඇති තර්ජන පිළිබඳව වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට පැමිණිලි කිරීමෙන් පසුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙන බව ය.
එම තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව මෙම නඩුවේ පළමු වන විත්තිකරු අත්අඩංගුවට ගෙන මේ වන විට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
කෙසේ වෙතත්, අදාළ සාක්ෂිකරු තමන්ට තිබෙන තර්ජනය පිළිබඳව සුදුසු ආයතනවලට පැමිණිලි කරන්නේ නම් ඊට අදාළව විමර්ශන සිදු කළ හැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය.
ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය මේ මස 18 වන දා දක්වා කල් තැබිණි.
විත්තිකරුවන් 9 දෙනෙක්
එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද්ධ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නව දෙනෙකු නම් කර තිබේ.
2010 වසරේ ජනවාරි මස මස 25 වන දා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ තිබේ.




