
හෝමාගම මූලික රෝහලේ සී.ටී. ස්කෑනර් යන්ත්‍රය මාස දෙකක පමණ කාලයක සිට ක්‍රියා විරහිත වීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ හේතුවෙන් සී.ටී. ස්කෑනර් සඳහා යොමුකළ යුතු රෝගීන් කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහල වැනි බාහිර රෝහල් වෙත යොමු කිරීමේදී ඒ සඳහා ගිලන් රථයක්, හෙදියක්, රෝහල් සහායකයකු මෙන්ම ඇතැම් අවස්ථාවලදී වෛද්‍යවරයකු පවා යැවීමට සිදුවීමෙන් රෝහල් පාලනාධිකාරියට අමතර වැය බරක් දැරීමට සිදුව ඇති අතර ඇතැම් අවස්ථාවල දිනක් තුළ රෝගීන් දස දෙනකු හෝ ඊට අඩු වැඩි වශයෙන් රැගෙන යෑමට සිදුව ඇත.
එවන් අවස්ථාවල දී යොදවනු ලබන රෝහල් කාර්ය මණ්ඩලය සඳහා අතිකාල ගෙවීම්, පැය අට අවසන් වූ විට ගෙවන විශේෂ දීමනාව හා ඉන්ධන සැලකීමේදී රජයට අමතර විශාල වියදමක් දැරීමට සිදුව ඇති බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම සී.ටී. ස්කෑනර් සිදුකර ගැනීම සඳහා පාදුක්ක, කොස්ගම, නවගමුව, හොරණ, වෑතර, අතුරුගිරිය හා අවිස්සාවේල්ල යන යාබද රෝහල්වලින් හෝමාගම රෝහලට රෝගීන් යොමු කෙරුණද ස්කෑනර් යන්ත්‍රය අක්‍රීය වීම නිසා පරීක්ෂණ කරගත නොහැකිව දැඩි අපහසුතාවට පත්ව ඇත.
එක දුරකථන ඇමතුමකින් නව සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක් හෝ අක්‍රීය වූ යන්ත්‍රය අලුත්වැඩියා කර ගැනීමට හෝ හැකියාව ඇති නිලධාරීන් මෙම රෝහලට අනුයුක්තව රාජකාරීයේ නිරතව සිටින පසුබිමක මෙම අඩුපාඩු සපුරාලීමට ප්‍රමුඛතාව ලබා නොදීම විමතියට කරුණකි.
මේ සම්බන්ධයෙන් හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය එරංගා රාජපක්ෂ මහත්මියගෙන් කළ විමසීමේදී පැවසුවේ, “මේ කාරණය ඇත්ත. අපිට මේ යන්ත්‍රය ලැබිල තියෙන්නෙ මධ්‍යම රජය හරහා. ඒ නිසා මෙය අලුත්වැඩියා කරගත යුතුව තියෙන්නෙත් මධ්‍යම රජයෙන්.’




