
2023 සිට සිංගප්පූරුවේ ගැනුම්කරුවන්ට අවම වශයෙන් ළදරුවන් 25 දෙනෙකු විකුණා ඇති බව කියන ළදරු ජාවාරම් කණ්ඩායමක් ඉන්දුනීසියානු පොලිසිය විසින් අනාවරණය කර ගනු ලැබ තිබේ.
පොලිසිය ඉන්දුනීසියානු නගර දෙකකදී පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ජාවාරම් කිරීමට සූදානම්වූ අවුරුද්දක් පමණ වයසැති ළදරුවන් හය දෙනෙකු බේරා ගෙන ඇත.
බටහිර ජාවා පොලිසියේ පොදු අපරාධ විමර්ශන අධ්යක්ෂ සුරවාන් බීබීසී ඉන්දුනීසියා සේවයට පැවසුවේ “මෙම ළදරුවන් පළමුව පොන්ටියානාක් හි රඳවා තබා ගෙන සිංගප්පූරුවට යැවීම පෙර ඔවුන්ගේ ආගමන ලියකියවිලි සකස් කර ඇති ” බවයි.
බීබීසී ය විසින් මේ සම්බන්ධයෙන් සිංගප්පූරු පොලිසිය සහ සිංගප්පූරුවේ ස්වදේශ ආරක්ෂක අමාත්‍යාංශය අමතා අදහස් විමසූ නමුත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි.
පොලිසිය පවසන පරිදි, මෙම කණ්ඩායම තම ළදරුවන් ළඟ තබා ගැනීමට අකමැති දෙමාපියන් හෝ ගර්භනී කාන්තාවන් ඉලක්ක කර ගන්නා අතර, මොවුන් බොහෝ විට WhatsApp තුළින් පුද්ගලික සංවාද දක්වා යොමු වීමට පෙර ෆේස්බුක් ඔස්සේ මූලික සම්බන්ධතා ආරම්භ කර ඇත.
“ඇතැම් දරුවන් ඉපදෙන්න කලින් ඉදලම මුදලට වෙන් කරවා ගෙන තිබ්බා. දරුවා ඉපදුනාම ඒ සඳහා යන වියදම් පියවලා, ඔවුන්ට ගාණකුත් ගෙවලා දරුවා ව අර ගන්නවා.” සුර්වාන් පැවසුවේය.
පොලිසිය පැවසුවේ මෙම කණ්ඩායමට ජාවාරම් කිරිම සඳහා ළදරුවන් ගැන තොරතුරු සොයන්නන්, ඔවුන් රැකබලා ගන්නන් සහ ඔවුන්ව තබා ගැනීමට අවශ්‍ය නිවාස පහසුකම් සපයන්නන් මෙන්ම ව්‍යාජ ලේඛන සෑදූ පුද්ගලයින් ද වන බවයි.
පොලිසිය පැවසුවේ මව්වරුන්ගෙන් ලබා ගැනීමෙන් පසු ළදරුවන් මාස දෙක තුනක් රැකබලා ගන්නන්ට ලබා දී, පසුව ජකර්තා සහ පසුව පොන්ටියානාක් වෙත යවා එහිදී ඔවුන්ගේ උප්පැන්න සහතික, විදේශ ගමන් බලපත්‍ර සහ වෙනත් ලේඛන සකස් කර ඇති බව ය.
පොලිසිය පැවසුවේ සෑම ළදරුවෙක්ම ඉන්දුනීසියානු රුපියල මිලියන 11ත් 16ත් අතර මුදලකට (ඩොලර් 673–£502) අලෙවි කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් අය පැවසුවේ තම කණ්ඩායම අවම වශයෙන් පිරිමි ළමයින් 12 දෙනෙකු සහ ගැහැණු ළමයින් 13 දෙනෙකු දේශීයව මෙන්ම විදේශීයව ද විකුණා ඇති බවය. දරුවන්ගෙන් බොහෝ දෙනෙකු ඉන්දුනීසියාවේ බටහිර ජාවා ඇතුළු විවිධ නගර සහ දිස්ත්‍රික්කවල පදිංචි දෙමව්පියන්ට දාව උපත ලැබූවන්ය.
සිංගප්පූරුවට රැගෙන ගිය ළදරුවන්ගේ භාරකරුවන් සොයා ගැනීම දැන් ඔවුන්ගේ ප්‍රමුඛතාවය බව ඉන්දුනීසියානු පොලිසිය පැවසීය.
රැගෙන ගිය දරුවන් කවුද, ඔවුන් සමඟ ගියේ කවුද, ඔවුන් පිටත්ව ගියේ කවදාද සහ සිංගප්පූරුවේ ඔවුන්ව හදා වඩා ගන්නේ කවුරුන්ද යන්න සොයා ගැනීම සඳහා වාර්තා පරීක්ෂා කරන බව සුරවාන් පැවසීය.
ඔහු පැවසුවේ පොලිසිය විසින් රැස් කරන ලද තොරතුරු අනුව ළදරුවන්ගේ ජාතිකත්වය වෙනස් කර ඇති බවට පෙන්නුම් කරන බවයි, බලධාරීන් තවමත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර සොයමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
සුරවාන් බීබීසී ඉන්දුනීසියා සේවයට පැවසුවේ, ළදරුවන් භාර දී ඇත්තේ ජාවාරම්කරුවන් සහ දෙමාපියන් අතර ගනුදෙනු හරහා මිස පැහැර ගැනීමෙන් නොවන බවයි. සමහර දෙමව්පියන් පසුව පැහැර ගැනීමක් කියා පවසා ඇත්තේ තැරැව්කරුවන්ගෙන් මුදල් නොලැබුණු නිසා පමණක් බව ද ඔහු පවසයි.
ඇතැම් දෙමව්පියන් මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් තම දරුවන් විකිණීමට එකඟ වී ඇති බවට සැක කෙරේ. ඔවුන්ටද අපරාධ චෝදනාවක් එල්ල විය හැකි බව සුරවාන් පැවසීය.
“දෙමව්පියන් සහ අපරාධකරුවන් අතර එකඟතාවයක් ඇති බව ඔප්පු වුනොත්, ඔවුන්ට එරෙහිව ළමා ආරක්ෂණ අපරාධ සහ මිනිස් ජාවාරම් වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්න පුළුවන්,” ඔහු පැහැදිලි කළේය.
ඉන්දුනීසියානු පොලිසිය විසින් මෙම ජාවාරමට සම්බන්ධ විදෙස්ගත තැරැව්කරුවන් සහ දරුවන් මිලදී ගත් පුද්ගලයින් සොයා ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහ සිංගප්පුරු පොලිසියේ සහය ඉල්ලා ඇත.
“මෙම අපරාධකරුවන්ව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කරන පුද්ගලයින් විදිහට ලැයිස්තුගත කරනවා, ඊට අමතරව ඔවුන්ට එරෙහිව රතු නිවේදන නිකුත් කරන්න නැත්නම් අදාළ රටවල නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරීන්ට ඔවුන්ව අත්අඩංගුවට ගන්න කියලා ඉල්ලීමක් කරනවා.” සුර්වාන් පැහැදිලි කළේය.
ළමා ජාවාරම් කණ්ඩායම් සාමාන්‍යයෙන් දුෂ්කර අවස්ථාවන්ට මුහුණ පා සිටින කාන්තාවන් ඉලක්ක කරන බව ඉන්දුනීසියානු ළමා ආරක්ෂණ කොමිසමේ කොමසාරිස් අයි රහ්මයන්ති පැවසුවාය.
“උදාහරණයක් ලෙස, ලිංගික හිංසන, ස්වාමිපුරුෂයා විසින් අතහැර දැමීම හෝ අනියම් සබඳතා නිසා ඔවුන් අනවශ්‍ය ලෙස ගැබ් ගෙන තිබෙනවා” ඇය බීබීසී ඉන්දුනීසියානු පුවත් සේවයට පැවසුවාය.
වෛද්‍යමය හදිසි අවස්ථා හෝ ස්ත්‍රී දූෂණය වැනි අවස්ථා හැර, ඉන්දුනීසියාවේ ගබ්සාව තහනම් වේ.
ජාවාරම් කණ්ඩායම් බොහෝ විට කාන්තාවන්ට සහ ළමයින්ට උපකාර කරන සායන, අනාථ නිවාස හෝ නවාතැන් ලෙස පෙනී සිටින බව ඉන්දුනීසියානු ළමා ආරක්ෂණ කොමිසම සඳහන් කළේය.
“මෙම ස්ථාන මුලදී කාන්තාවන් ගැන සැලකිල්ලක් පෙන්වන ආකාරයෙන් කටයුතු කරනවා. විශේෂයෙන් දරු ප්‍රසූතිය සිදු කර දරුවාව ගෙදර ගෙනි යන්න පුළුවන් ” වැනි දේවල් කියනවා, නමුත් යථාර්ථයේ , ඔවුන් මුදල් ගෙවා නීති විරෝධී විදිහට දරුවාව රැගෙන යනවා.” ඇය පැහැදිලි කර සිටියාය.
ඉන්දුනීසියාවේ විකුණනු ලබන ළදරුවන් සඳහා නිල සංඛ්‍යාවක් නොමැති නමුත් ඉන්දුනීසියානු ළමා ආරක්ෂණ කොමිසමේ හි දත්තවලින් පෙනී යන්නේ මිනිස් ජාවාරම වැඩි වැඩියෙන් සිදුවන බවයි.
2020 දී, ඉන්දුනීසියානු ළමා ආරක්ෂණ කොමිසම විසින් නීති විරෝධීව දරුකමට හදා ගැනීමේ සිද්ධීන් 11 ක් වාර්තා කරන ලදී. 2023 දී එම සංඛ්‍යාව නීති විරෝධීව දරුකමට ගැනීම, ළමා පැහැරගැනීම් සහ ජාවාරම් පිළිබඳ සිද්ධීන් 59 දක්වා ඉහළ ගොස් ඇත.
ඉන්දුනීසියානු ළමා ආරක්ෂණ කොමිසම විසින් ක්‍රියාත්මක කරන ලද මෑත කාලීන සිද්ධියක් වූයේ 2024 දී ඩිපොක්, බටහිර ජාවා සහ බාලි වැනි ස්ථානවල විකිණීමේදී ළදරුවන් සොයා ගැනීමයි.
ඇය පැවසුවේ ළදරුවන් විවිධ මිල ගණන්වලට අලෙවි කර ඇති බවයි.
ජාවාහි මිල ළඳරුවෙකු ගේ මිල ඉන්දුනීසියානු රුපියා මිලියන 11 ත් 15 ත් අතර වන අතර බාලි හිදී ළඳරුවෙකුගේ මිල ඉන්දුනීසියානු රුපියා 20 ත් 26 ත් අතර විය හැකි බව ඇය පැවසුවාය. මිල ළදරුවාගේ පෙනුම වැනි දේවල් මත රඳා පවතී.
උපුටා ගැනීම – බීබීසී




