
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව රට පුරා ආන්දෝලනයක් ඇතිවී ඇති නමුත් බොහෝ දෙනකු ඒ සම්බන්ධව කතා කරන්නේ නිශ්චිත අවබෝධයකින් තොරව දේශපාලන අරමුණුවලින් පමණක් බව පැහැදිලි වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
පසුගිය කාලය මුළුල්ලේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස සිදුවූයේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කෙටි කතා ඉවත්කොට තවත් කවුරුන් හෝ ලේඛකයෙකුගේ කෙටිකතා හෝ කවි එකතු කිරීම වැනි අධ්‍යාපන ග්‍රන්ථවල පරිච්ඡේද වෙනස් කිරීම පමණක් බවත්, රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික සංවර්ධනය කේන්ද්‍ර කොට සිදුවිය යුතු බවත් ඔහු සඳහන් කරයි.
අද වනවිට රටේ ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, අඩු වයසින් ගර්භනී භාවයට පත්වීම, ගෘහස්ථ ප්රචණ්ඩත්වය, මාරක අනතුරු ඉහළ යාම, රටේ සිවිල් පුරවැසියන් පවතින සිවිල් සහ අපරාධ නීතිය සම්බන්ධව අවබෝධයක් නොමැති වීම වැනි ප්‍රායෝගික කරුණුවලට සමාජයක් ලෙස මුහුණපාන බැවින් එම කරුණු කෙරෙහි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී අවධානයට ලක් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
මෙරට ලිංගික අධ්‍යාපනය පාසල් සිසුන්ට ලබාදීම හරහා පසුගිය කාලයේදී සිදුවූයේ පෙළපොත් වලට ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක පද්ධතිවල ඡායාරූප එකතු කිරීම පමණක් බවත් ඉන් බැහැරව ගොසින් ස්ත්‍රී සහ පුරුෂ ශරීරයන් සම්බන්ධයෙන්ද, ලිංගික ක්‍රියාවන් සහ ඒ ආශ්‍රිතව බෝවන රෝග ආ සමාජ ආර්ථික දේශපාලන ගැටළු සම්බන්ධවද පුළුල් අවබෝධයක් ලබා දිය හැකි විෂය පථයක් නිර්මාණය වී යුතු බව ඔහු සඳහන් කරයි.
එසේම එම විෂය මාලාවන් නිසි පරිදි අධ්‍යාපනය ලබා දිය හැකි ගුරු පරපුරක් බිහි කිරීමටද විෂය මාලා සංවර්ධනයේදී අවධානයේ ලක්විය යුතු බව ඔහු සඳහන් කරන අතර පෙර පාසල් දරුවන්ගේ සිට උසස් පෙළ දරුවන් දක්වා පාසල් අධ්‍යාපනය විෂය මාලා සංවර්ධනයේදී ප්‍රායෝගිකව මහපොළොවේ අත්දැකීම් සහිත විද්වතුන් සම්බන්ධ කොට ඒ සම්බන්ධව කතිකාවතා ගොඩනැගිය යුතු බවද පෙන්වා දෙයි.
ඒත් අවාසනාවට මෙන් විෂය මාලා සංවර්ධනය හෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් සිදුවන්නේ විවිධ රටවල්වල සහ විවිධ රාජ්‍ය නොවන ආයතනවල ඕනෑ එපාකම් ඉටුකිරීම සඳහා හෝ දේශපාලනික අරමුණු සඳහා සිදුවන වෙනස්කම් පමණක් වීම කනගාටුවට හේතුවක් බවත් සෑම ආණ්ඩුවක්ම බලයට පත්වීමෙන් පසුව අවුරුදු පහෙන් පහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනස්වීම නිසා රටක් වශයෙන් අප දැඩි ලෙස ආපස්සට ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ලෝකය දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රම නිරීක්ෂණය කිරීමට යන විද්වතුන් නැවත ලංකාවට පැමිණ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරන බවද වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන අතර එබැවින් අධ්‍යාපන ක්ෂේත්රයේ නිරත වන පුද්ගලයන් පමණක් නොව පරිබාහිර සමාජ ආර්ථික දේශපාලන විෂය පථයන් සම්බන්ධව අදහස් දක්වන ප්‍රායෝගික විද්වතුන්ගේද අදහස් වලින් සමන්විතව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට වර්තමාන රජය කටයුතු නොකරන්නේ නම් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පුස්සක් වන බවද සඳහන් කරයි




