
චීනයේ සිට ආනයනය කරන ලද BYD වර්ගයේ මෝටර් රථවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් හේතුවෙන් රේගුව විසින් එම වාහන වරායේ රඳවාගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුගොඩ මහතා පැවසුවේ මේ වන විට BYD වාහන සම්බන්ධයෙන් රේගු විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් දැනට පවතින සැකය වන්නේ තීරුබදු ගෙවීමේදී යම් අඩුපාඩුවක් සිදුව ඇති බවත්ය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹිය හැක්කේ සවිස්තරාත්මක රේගු විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව බව ඔහු අවධාරණය කරයි.
යම් වැරැද්දක් සිදුව තිබේ නම්, සමහර වැරදි සඳහා එම වාහන නැවත ප්‍රති අපනයනය කිරීම අවශ්‍ය විය හැකි අතර, වෙනත් වැරදි සඳහා රේගු ආඥාපනත යටතේ වෙනත් දඬුවම් ලැබිය යුතු බව අරුගොඩ මහතා සඳහන් කරයි.
රේගු ආඥාපනතේ අඩංගු ප්‍රතිපාදන භාවිත කරමින් අවශ්‍ය කටයුතු සිදු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.
රේගුවේ ප්‍රතිපත්තිය වන්නේ සියලු දෙනාටම එක හා සමානව බදු අය කිරීම බවත්, කිසිදු පුද්ගලයෙකුට හෝ පාර්ශවයකට වාසියක් හෝ අවාසියක් වන ලෙස නීතිය තුළ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කරයි.
වංචනික ලෙස වැරදි තොරතුරු ලබා දී බදු අඩුවෙන් ගෙවීමට හෝ පවතින නීති රීති උල්ලංඝනය කිරීමට යම්කිසි අයෙකු උත්සාහ කරන්නේ නම්, රේගු ආඥාපනත යටතේ අදාළ භාණ්ඩ රාජසන්තක කළ හැකි බව ඔහු අනතුරු අඟවයි.
එපමණක් නොව, එම භාණ්ඩවල වටිනාකම මෙන් තුන් ගුණයක දඩයකට එම පුද්ගලයා හෝ සමාගම පත් කිරීමට ද හැකියාව පවතී. මෙම දඬුවම් තීරණය වන්නේ විමර්ශනයකින් පසුව, සිදුවී ඇති සත්‍ය වරද කුමක්දැයි සොයා ගැනීමෙන් පසුව බව අරුගොඩ මහතා වැඩිදුරටත් පැහැදිලි කරයි.




