
ත්රිකුණාමලය මහ නගර සභාවේ නාගරික මන්ත්රිවරයෙකු සහ ප්රදේශවාසියෙකු අතර ඇතිවූ ගැටුමක්වූ අවස්ථාවක, නාගරික මන්ත්රිවරයා පිහියක් භාවිත කරමින් එම පුද්ගලයාගේ කනකට හානි සිදුකර ඇති බවට චෝදනා මත, ත්රිකුණාමලය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහලේ ප්රතිකාර ලබමින් පවතින අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.
මේ දිනවල ත්රිකුණාමලය දිස්ත්රික්කයේ දැඩි වර්ෂාවක් පවතින අතර, ඒ හේතුවෙන් උප්පුවෙලි ප්රදේශයේ කාණු පද්ධතිය අවහිරවී ප්රදේශවාසීන්ට විශාල අපහසුතා ඇතිවී තිබේ. ජාතික ජනබලවෙගය පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්රිවරයාට මෙම තත්ත්වය පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසු, ඔහු නගර සභා සේවකයන් පිරිසක් සමඟ 01 වනදා උප්පුවෙලි ප්රදේශයට ගොස් කාණු පද්ධතිය පිරිසිදු කිරීමේ කටයුත්තක් ආරම්භ කර තිබේ.
මෙම කටයුත්ත සිදුකරමින් සිටියදී, තවත් පිරිසක් සමඟ එම ස්ථානයට පැමිණි ප්රදේශවාසියෙකු කටයුත්තට බාධා පමුණුවමින් නාගරික මන්ත්රිවරයා සමඟ වාද විවාදයකට හා පසුව ගැටුමකට එළඹී ඇතැයි මන්ත්රිවරයාගේ පාර්ශ්වය සඳහන් කරයි. එම ගැටුම අතරතුර, තුවාල ලැබූ පුද්ගලයා පොල්ලක් හරහා මන්ත්රිවරයාට පහරදීමට උත්සාහ කල අවස්ථාවක, තම ආරක්ෂාව සඳහා මන්ත්රිවරයා විසින් පිහියකින් ඔහුට පහරදුන් බවද ඔවුහු පවසති.
මෙම සිද්ධිය පසුපස දෙදෙනා අතර පවතින පැරණි ආරවුලක් නිසා බවටද තොරතුරු ඉදිරිපත් වී ඇත.
එමගින් පුද්ගලයෙකුට පිහියකින් පහරදීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාව මත, නාගරික මන්ත්රිවරයා ත්රිකුණාමලය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.




