
විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමේ ප්‍රතිපත්තිය යටතේ විදේශ ණය ගිවිසුම් 334කට අදාළව ණය වාරික හා පොළිය ද ඇතුළුව රුපියල් මිලියන පන්ලක්ෂ, අනූතුන්දහස්, අටසියහතරක විදේශ ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබුණද ඒ පිළිබඳව රජයේ මූල්‍ය ප්රකාශනවල කිසිදු හෙළිදරව් කිරීමක් සිදුකොට නොමැති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2022 වර්ෂයේ අප්‍රේල් මස 12 වැනි දින සිට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණි. ඒ අනුව ඉකුත් වර්ෂයේ (2024) දෙසැම්බර් මස 31 දින වන විට විදේශ ණය ගිවිසුම් 334කට අදාළව අත්හිටුවා ඇති ණය වාරික මුදල රුපියල් මිලියන 479,674කි. පොළී මුදල රුපියල් මිලියන 114,130කි.
ණය ගිවිසුම් තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් එම ණය ගිවිසුම්වල උපයෝජනය නොකළ ණය ශේෂ මත කැපකරු ගාස්තු ගෙවීමේදී සාමාන්‍ය කැපකරු ගාස්තු වටිනාකම හෝ ගෙවීම ප්‍රමාද කිරීම හේතුවෙන් එම වටිනාකමට වඩා ඉහළ වටිනාකමක් හෝ ගෙවීමට සිදුවීමේ අවදානමක් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.




