
‘දෙමල බෙදුම්වාදය පරාජය කිරීමට යුධමය වශයෙන් මැදිහත්වීමේ තීන්දුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තල්ලු කළේ ජවිපෙ. ඒ නිසාම ජනාධිපතිවරුන්ගේ හිමිකම් කප්පාදු කරල අනාරක්ෂිත කරල දෙමල ඩයස්පෝරාවට ගොදුරක් කර ගන්න ඔහු නිරාවරණය කල යුතු නැතැයි’ හිටපු ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සහ හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතා (11) ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ගේන්නේ දෙමල ඩයස්පෝරාවේ වුවමණාවට බවත් අද ජවිපෙ දෙමල බෙදුම්වාදයේ ගොදුරක් බවට පත්ව තිබෙන බවත් අවධාරණය කළ ඒ මහතා, මහින්ද බලයට ගෙනැත් දේශපාලන මණ්ඩලයේ කීප දෙනෙක්ගේ වුවමණාවට අතහැරීම බරපතල දේශපාලන වරදක් බවද පෙන්වා දුන්නේය.
මාධ්‍ය හමුවක් අමතමින් නන්දන ගුණතිලක මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සම්බන්ධයෙන් අපි කියන කාරණා මාලිමා ආණ්ඩුව බාල විදියට අවබෝධ කර නොගනීවී යැයි අපි විශ්වාස කරනවා. ජවිපෙ ජනාධිපතිවරණයට පෙර විශ්‍රාමික හමුදා සාමාජිකයින් එකතු කරල රණවිරු සංසද නිර්මාණය කළා. ඒ සදහා නායකත්වය ගත්තේ රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කල තෝරදෙණිය වගේම ජවිපෙට එරෙහි මර්දනය දියත් කල අරුණ ජයසේකර, තුයියකොන්තා වගේ උතුරේත් දකුණේත් මහා මිනිස් සංහාරයක් දියත් කරන්න මූලික වූ පිරිස්.
ජනාධිපතිවරණයට, මහා මැතිවරණයට පෙර මහා රණවිරුවෝ මෑතකදී ජනාධිපතිවරයාට හමුදා සෙබළු වුණා. මාලිමා ආණ්ඩුව බලයට ගේන්න විශාල වැඩ කොටසක් කළේ දෙමළ ඩයස්පෝරාව. ඩයස්පෝරාව සතුටු කිරීමේ වුවමණාව මතයි, රණවිරුවා සෙබළු වුණේ. චෙම්මිනී මිනිවල හාරන්න තිබෙන උනන්දුව සූරියකන්ද, හෝකන්දර හාරන්න නැහැ. 1989 සිට 2010 ට මහා විශාල කාලයක් නැහැ. 2010 දී ජවිපෙ සරත් ෆොන්සේකා දිනවන්න කටයුතු කළා. එදා ෆොන්සේකා දිනුවනම් ඊලගට අගමැති වෙන්නේ රනිල් වික්‍රමසිංහ. මහින්දට එරෙහිව රනිල් අගමැති කිරීමේ සටනේ ජවිපෙ හිටියේ. 88/89 කාලයේ මම ජවිපෙ ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායකයා. එදා ත්‍රිකුණාමලයේ ජවිපෙ මර්දනයට අණදුන් හමුදා නායකයා ෆොන්සේකා. 2015 දී ජවිපෙ ඡන්ද ලක්ෂ 05 ක් මෛත්‍රීපාල සිරිසේනට දුන්නා. මෛත්‍රීපාල රජයේ අගමැතිවරයා වුණෙත් රනිල් වික්‍රමසිංහ.
අධිරාජ්‍යය විරෝධී අරගලය හරහා සමාජවාදයට යන ගමන ගැනයි, අපි විශ්වාස කළේ. රටේ බරපතල දේශපාලන අර්බුදයක් ඇතිව තිබෙද්දි එය මර්දනය කල නායකයා, මහින්ද රාජපක්ෂ. ඒ නිසා දෙමල බෙදුම්වාදය පරාජය කිරීමේ වුවමණාව රට ඉදිරියේ තිබුණා. ඒ සදහායි 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය හැදුවේ. ජවිපෙ එකතුවෙන් හදපු ඒ සන්ධානයේ ආරම්භක සභාපතිවරයා මම. සන්ධාන ආණ්ඩුවේ ඇමතිකම් 04 ක් අපි ගත්තා. දෙමල බෙදුම්වාදය පරාජය කිරීමට යුධමය වශයෙන් මැදිහත්වීමේ තීන්දුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යොමු කළේ ජවිපෙ. චම්පික රණවකල ඇතුළු පිරිසකුත් ඒ මතයේ හිටියා. මහින්ද, කොටි සංවිධානයට යුධමය වශයෙන් පහර දුන්නේ ජවිපෙ බල කිරීමට. ඒ නිසාම දෙමල බෙදුම්වාදීන් තුල බරපතල වෛරයක් මහින්ද කෙරෙහි තිබෙනවා. මහින්ද බලයට ගෙනැත් දේශපාලන මණ්ඩලයේ කීප දෙනෙක්ගේ වුවමණාවට අපි මහින්ද අතහැරීම බරපතල වරදක්. අතහරිනවා නම්, ඔහු බලයට ගෙන ඒමෙන් වැලකි සිටින්න තිබුණා. නමුත් දැන් හිමිකම් කප්පාදු කරල අනාරක්ෂිත කරල දෙමල ඩයස්පෝරාවට ගොදුරක් කර ගන්න ඔහු නිරාවරණය කල යුතු නැහැ. මේ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ගේන්නේ දෙමල ඩයස්පෝරාවේ වුවමණාවට. අද ජවිපේ දෙමල බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් වෙලා. ඕනෑ පනතක් ගෙනැත් ඉදිරිය සම්බන්ධයෙන් තීන්දු ගන්න. නමුත් තිබෙන දේ වෙනස් කිරීම ප්‍රායෝගික නැහැ.
හිටපු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය චන්ද්‍රෙස්න විජේසිංහ මහතා.
ජවිපෙ සමග එකතුව 2004 දී හදපු සන්ධාන ආණ්ඩුවේ ජවිපෙ ඉල්ලීමට මම ඇමතිකම බාර ගත්තා. 1976 සිට ජවිපෙ වෙනුවෙන් කටයුතු කල 88/89 ජවිපෙ සංහාරයෙන් පසු එය නැවත ගොඩනගන්න කටයුතු කල අයෙක් ලෙසයි, මම අද කතා කරන්නේ. හිටපු ජනාධිපතිවරුන්ට හිමි ආරක්ෂාව ඇතුළු වරප්‍රසාද අහෝසි කරන්න හිටපු ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ගැසට් කර තිබෙනවා. මේ පනත සම්බන්ධයෙන් කිසිදු සමාජ විද්‍යාඥයෙක් හෝ වෙනත් උගත් බුද්ධිමත් අයෙක් අදහස් දක්වල නැහැ. ඒ නිසයි, මේ සම්බන්ධයෙන් අපි කතා කරන්නේ.

ඕනෑම රටක් ඒ රටේ හිටපු නායකයින් ආරක්ෂා කර ගන්නවා. අපේ රටේ දෙමල බෙදුම්වාදය ක්‍රියාත්මක වුණේ ජාත්‍යන්තර වුවමණාව මත. ජවිපෙ හැටියට එදා අපි තීන්දු කල යුතුව තිබුණා, අපි ආයුධ අතට අරන් බෙදුම්වාදීන්ට ගහල මර්දනය කරන්න. එහෙම නැත්නම් ආණ්ඩුව සමග එකතු වෙලා ආණ්ඩුවේ ආයුධ වලින් ගහල මර්දනය කරන්න. ජවිපෙ හැටියට අපි තෝරගත්තේ දෙවන ක්‍රමය. මහින්දට සහය දෙද්දි අපිට සත්‍යපාල වන්නිගම, විජේදාස ලියනාරච්චි ඝාතනයන් මෙන්ම අපි මහපාරේ කරපු උද්ඝෝෂණයට මහින්දගේ කඩා පැනීම ආදිය ගැන ගැටළු තිබුණා. මහපාරේ සටනේදී අපිට තිබුණ එකම ඩිජිටල් කැමරාව උදුර ගන්න මහින්ද කටයුතු කරන්දි කැමරාව තුනට කැඩුණා. එක කෑල්ලක් මහින්ද අතේ, තවත් කෑල්ලක් මගේ අතේ. අනිත් කෑල්ල නියමුවා පත්තරේ ඡායාරූප ශිල්පියා අතේ. මේ සියල්ල තිබියදීයි, අපි මහින්ද ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ. යුද්ධය පටන් ගන්න කියන විට මහින්ද, සෝමවංශ සහෝදරයගෙන් ඇහුවේ ලබ්බෙන්ද ගහන්නේ කියල. එවිට සෝමවංශ සහෝදය කිවේ තියෙන ලබ්බෙන් ගහන්න, එයිට තව ලබ්බවල් එකතු වේවි කියල. එහෙම බල කරල යුද්ධයට තල්ලු කරපු මහින්ද, ඩයස්පෝරාවට බිදි දෙන්න පුළුවන්ද?
අපිටත් මහින්ද ගැන ප්‍රශ්ණ තිබෙනවා. ඒ තාඩුජින් ඝාතනය ගැන වෙන්න පුළුවන්. බලය අයුතු ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඒවට පරීක්ෂණ පවත්වන්න. වයස ගැන නොබලා ජම්පර ඇන්දවීම සම්බන්ධයෙන් අපේ විරුද්ධත්වයක් නැහැ. ජාතියේ වුවමණාව වෙනුවෙන් හෙට දිනයේ අනුර කුමාර ජනාධිපතිවරයා නිවැරදි තීන්දු ගන්නවානම් අපි ඔහු ආරක්ෂා කරනවා.
අපි තෛයිනිකායික මහනාහිමිවරුන්ගෙන්, අන්‍යාගමික නායකයින්ගෙන්, වෙනත් සිවිල් ප්‍රජාවගෙන් අහන්න කැමතියි, දෙමල බෙදුම්වාදය පරාජය කල නායකයා ආරක්ෂා කර ගැනීම ජාතියේ වුවමණාව නොවෙයිද? කියල. ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත තුලින් රට වෙනුවෙන් තීන්දු ගන්න නායකයින් අනාගතයේ බිහි වෙන්නේ නැහැ. මේ මගින් ඇති වෙන්නේ රූකඩ නායකයින්. මේ ඉටුකරමින් සිටින්නේ ප්රතිගාමීන්ගේ ජාත්‍යන්තර වුවමණාව. අපේ රටේ ජාතික කොඩියේ ඉන්නේ එඩිතර සිංහයෙක්. මේ පනත සම්මත වුණාට පස්සේ අවශ්‍ය නම් ජාතික කොඩියේ සිංහයා වෙනුවට මස්කටුවක් ලෙවකන, සුනඛයෙක්ගේ රූපයක් වුණත් දාන්න පුළුවන් යැයිද ප්‍රකාශ කළේය.




