
“මම රූපවාහිනිය සමග තරහවක් නැහැ. එහෙත් සමහර නාලිකාවල විකාශනය කෙරෙන වැඩසටහන් තුට්ටු දෙකක් වටින්නේ නැහැ. ඒවා බැලුවාම අපව කෘතීම ලෝකයකට ඇදගෙන යනවා” යැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඉකුත් සිකුරාදා (15 දා) පයාගලදී ප්රකාශ කළහ. උන්වහන්සේ එසේ ප්රකාශ කළේ කුඩා පයාගල පරලෝක රාජේශ්වරියගේ දෙව්මැදුරේ 150 වැනි සමරු මංගල දේව මෙහෙයේ ප්රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
වර්ෂ 486ක් පැරණි පයාගල මීසමේ පරලෝක රාජේශ්වරියට කැප කරන ලදුව මෙම ස්ථානයේ ඉදිකරන ලද 06 වැනි දෙව්මැදුර මෙයවේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු හිමිපාණෝ මෙසේද කීහ.

“අද කතෝලික ගෙවල්වල සවස 6.30ට පවුලම එකතු වෙලා ජපමාලය උච්චාරණය කරනවද? එසේ නැතිනම් රූපවාහිනි තිරයේ වල්පල් දිහා බලන් ඉන්නවද? ඒවා තුළින් මුදල් පසුම්බිය හිස් කරවන ආකාරයට අපේ මනස එහාටත් මෙහාටත් අරගෙන යනවා. මිනිසුන්ව තාවකාලිකව සතුටු කරන දේවල්. මෙම දෙව්මැදුර දේව අම්මාට කැප කළ දෙව්මැදුරක්. එතුමිය අපට වඩාත් සමීප වන්නේ අප කරදරේ වැටුණු වෙලාවටයි. මීට වසර 50කට පෙර මා ප්රථම වරට මීසම් භාර පියතුමෙකු ලෙස පත්ව ආවේ මේ මීසමටයි. දේව කැමැත්ත ඉටු කරනවා මිස අපේ ජීවිතේ වෙන මොනවටද? අපේ ජීවිත හුළං පොදක් වගේ. ඒ පැත්ත මේ පැත්ත බලනකොට ඉවරයි. මියගියාම හතර රියනත් නැහැ.
පයාගල මීසම් සේවක ෆ්රැන්සිස් ෆොන්සේකා පියතුමා ප්රමුඛ දේවස්ථාන දායක සභාව විසින් මෙම 150 වැනි සමරු මංගල උත්සවය සංවිධානය කොට තිබූ අතර මංගල දේව මෙහෙය අවසානයේදී බැතිමතුන් පරලෝක රාජේශ්වරියගේ ප්රතිමාව රැගෙන ගම වටා වීදි සංචාරය කරන ලදී.




