
ඉකුත් ඉරිදා (ජුනි 22) ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 03කට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්, වෙළෙඳ නෞකා යාත්‍රා කරන ප්‍රධාන මුහුදු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඉරානය උත්සාහ කළ හැකි බවට වාර්තා පළව තිබේ.
ලෝකයේ බොරතෙල් වලින් 20% ක් පමණ හුවමාරු කරනු ලබන්නේ මෙම පටු මුහුදු මාර්ගය හරහා වන අතර, එහි කුඩාම ස්ථානයේ පළල කිලෝමීටර 40 ක් පමණි.
ඉරාන පාර්ලිමේන්තුව සමුද්‍ර සන්ධිය වසා දැමීමේ සැලැස්මක් අනුමත කර ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළ නමුත් අවසාන තීරණය උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය සතු බව පැවසීය.
ඇමෙරිකාව චීනයෙන් උදව් ඉල්ලයි
ගෝලීය වශයෙන් වැදගත් වන ප්‍රධාන භාණ්ඩ ප්‍රවාහන නැව් මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් ඉරානය වළක්වාලීමට උදව් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ චීනයෙන් ඉල්ලා තිබේ.
තෙල් සැපයුම්වලට සිදුවන ඕනෑම බාධාවක් ගෝලීය ආර්ථිකයට බරපතල ලෙස බලපෑ හැකිය. ඉරානයෙන් වැඩිපුරම ඉන්ධන මිලදී ගනු ලබන සහ ඉරානය සමඟ ශක්තිමත් සබඳතා ඇති චීනයට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම බරපතල ගැටලුවක් වීමට ඉඩ ඇත.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දීමෙන් පසු, තෙල් මිල ඉහළ ගිය අතර, බ්‍රෙන්ට් වෙළඳපලේ බොරතෙල් මිල මාස පහකින් ඉහළම මට්ටමට ළඟාවූ අතර අද (ජුනි 23) දිනයේ දී බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 79ක් ලෙස සටහන් විය.
එක්සත් රාජධානියේ MI6 හි හිටපු ප්‍රධානී සර් ඇලෙක්ස් යන්ගර් බීබීසීයට පැවසුවේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඔහුගේ නරකම අවස්ථාව බවයි. මෙය තෙල් මිල ඉහළ යාමට හේතු වන බැවින් මෙය බරපතල ආර්ථික ගැටලු ඇති කරන බව ඔහු පැවසීය.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන තෙල් ප්‍රමාණය කොපමණද ?
2023 වසරේ මුල් භාගයේදී දිනකට තෙල් බැරල් මිලියන 20 ක් පමණ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බව එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනය (EIA) පවසයි.
එය මුහුදු මාර්ග හරහා ප්‍රවාහනය කරනු ලබන වසරකට ඩොලර් බිලියන 600 කට ආසන්න බලශක්ති වෙළඳාමකට සමාන වේ.
සමුද්‍ර සන්ධියේ ඇති වන ඕනෑම ගැටළුවක් ගෝලීය තෙල් බෙදාහැරීම අඩාල කළ හැකි අතර මිල ගණන් ඉක්මනින් ඉහළ යා හැකිය.
කෙසේ වෙතත්, විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම උත්සන්න වීම වඩාත් බරපතල ප්රතිවිපාකයක් එල්ල කළ හැකි බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය සහ ඕමානය අතර පිහිටි මුහුදු මාර්ගයක් වන අතර එහි පිවිසුම් දොරටු කිලෝමීටර 50 ක් පමණ පළල වන අතර මැදින් කිලෝමීටර 40 ක් පමණ පටු වන නමුත් සමුද්‍ර සන්ධියේ මැද කොටස පමණක් විශාල නැව්වලට ගමන් කළ හැකි තරම් ගැඹුරුය.
බොහෝ විශේෂඥයින් විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය කඩාකප්පල් කිරීමට වඩාත්ම ඉඩ ඇති ක්‍රමය ලෙස හමුදා ක්‍රියාමාර්ග සලකනු ලැබේ. මීට පෙර මෙය සිදු වූයේ 1980 සිට 1988 දක්වා ඉරාන-ඉරාක යුද්ධයේදීය.
ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන්නේ කෙසේද?
ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ පර්යේෂණ සේවය විසින් 2012 වසරේදී නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වූයේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදැමීම සඳහා ඉරානය මන්දගාමී පියවර ගත හැකි බවයි. ඒවාට ඇතුළත් වන්නේ:
හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිතා කරන නැව් සඳහා තහනමක් ප්‍රකාශයට පත් කිරීම, එය නොසලකා හැරියහොත් කුමක් සිදුවේදැයි පැහැදිලිව සඳහන් නොකරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය පසුකර යන යාත්‍රා පරීක්ෂා කිරීමට හෝ සිය භාරයට ගැනීමට හැකි බව ප්‍රකාශ කිරීම.
නෞකාවලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කිරීම.
ඇතැම් නැව් වලට පහර දීමට හමුදා බලය භාවිතා කිරීම.
වාණිජ හා හමුදා යාත්‍රා ඉලක්ක කර ගැනීම සඳහා සබ්මැරීන සහ මිසයිල භාවිතා කිරීම.
ඉරාන-ඉරාක යුද්ධයේදී ඉරානය තෙල් ටැංකි වලට එරෙහිව සිල්ක්වෝම් මිසයිල යෙදවූ අතර ගල්ෆ් මුහුදේ මුහුදු බිම්බෝම්බ අටවන ලදී.
මෙම බිම්බෝම්බවලින් එකක් USS සැමුවෙල් බී රොබට්ස් නෞකාවට පහර දුන් අතර, එය ඇමරිකානු හමුදාමය ක්‍රියාමාර්ග ගැනීම් වලට හේතු විය.
ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දැමීමට සමත් නොවූවද මේ හේතුවෙන් නෞකා සඳහා නැව් රක්ෂණ වියදම් ඉහළ යාමට හේතු වූ අතර ගල්ෆ් කලාපයෙන් පිටවන නැව් සඳහා මිල අධික ප්‍රමාදයන් ඇති කිරීමට සමත් විය.
විශ්ලේෂකයින් කියන්නේ කුමක්ද?
විශේෂඥයින් පවසන්නේ සෑම මසකම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් 3,000 නැවැත්වීමට ඉරානයට ඇති හොඳම ක්‍රමයක් වන්නේ වේග ප්‍රහාරක නාවික යාත්‍රා සහ සබ්මැරීන භාවිතා කර මුහුදු බෝම්බ හෙළීම බවය.
ඉරාන නාවික හමුදාව සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව විදේශීය යුද නැව් සහ වාණිජ යාත්‍රා වලට ප්‍රහාර එල්ල කිරීමේ වැඩි ඉඩකඩක් ඇත.
කෙසේ වෙතත්, ඉරානයේ විශාල යුද නැව් ඊශ්‍රායල හෝ ඇමරිකානු ගුවන් ප්‍රහාර සඳහා පහසු ඉලක්ක බවට පත්විය හැකිය.
ඉරානයේ වේග ප්‍රහාරක යාත්‍රා සාමාන්‍යයෙන් නෞකා නාශක මිසයිල වලින් සමන්විත අතර ඔවුන් සතුව විවිධ වර්ගවල නෞකා, සබ්මැරින් ඇත.
මේ වන විට, චන්ද්‍රිකා පාදක කර ගත් නෞකා නිරීක්ෂණ වෙබ් අඩවි විසින් දකුණු දිග වෙරළ තීරය අසල ඉරාන හමුදා නැව්වල ක්‍රියාකාරකම් සිදුවන බවට සඳහන් කර ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් බලපෑමට පත්වන රටවල් මොනවා ද?
විශ්ලේෂණ සමාගමක් වන වෝටෙක්සා විසින් කරන ලද පර්යේෂණයකින් පෙනී යන්නේ සෞදි අරාබිය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන 6 ක් පමණ අපනයනය කරන බවත් එය ඕනෑම අසල්වැසි රටකට වඩා වැඩි බවයි.
චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල්වල විශාලතම ගැනුම්කරුවන් වේ.
2022 දී හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ පිටවන බොරතෙල් සහ ස්වාභාවික වායු ද්‍රවවලින් 82% ක් පමණ ආසියානු රටවලට යවා ඇති බව පාරිසරික බලපෑම් තක්සේරුව ඇස්තමේන්තු කරයි.
2025 අප්‍රේල් 16 වන දින, ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට දින තුනකට පෙර, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යොල් උපුටා දක්වමින් ඉරාන රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය, දකුණු කොරියාවේ තෙල්වලින් 60% ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පැමිණෙන බව පැවසීය.
පාරිසරික බලපෑම් තක්සේරුව (EIA) පවසන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය දිනකට තෙල් බැරල් 700,000 ක් පමණ හෝමූස් සමුද්‍ර සන්ධියෙන් ලබා ගන්නා බවයි. එය එහි තෙල් ආනයනයෙන් 11% ක් සහ එය ඔවුන් භාවිතා කරන ඉන්ධන වලින් 3% ක් පමණ වේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන යුරෝපයේ සාමූහික තෙල් කොටස දිනකට බැරල් මිලියනයකට වඩා අඩු බව පෙනෙන්නට තිබේ.
මේ හේතුවෙන්, මෑත කාලීනයුද ගැටුමේදී ඊශ්‍රායලයට සහාය දුන් ඇමෙරිකා එක්සත් ජනපදය හෝ යුරෝපීය රටවලට වඩා අරාබි සහ ආසියානු රටවල් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් වඩාත් පීඩාවට පත් වනු ඇත.
ආසියානු රටවල් ගණනාවක් ඉරානය සමඟ යහපත් සහ සමීප සබඳතා පවත්වාගෙන යයි.
අවහිරයක් ඇතිවුහොත් පවතින විකල්ප මාර්ග මොනවා ද?
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ අඛණ්ඩ අවදානම ගල්ෆ් තෙල් අපනයනය කරන රටවල් තම තෙල් නැව්ගත කිරීම සඳහා වෙනත් මාර්ග නිර්මාණය කිරීමට හේතු වී තිබේ.
පාරිසරික බලපෑම් තක්සේරුකරණ වාර්තාවකට අනුව, සෞදි අරාබිය දිනකට බොරතෙල් බැරල් මිලියන 5 ක් දක්වා ප්‍රවාහනය කළ හැකි කිලෝමීටර් 1,200 ක් දිග මාර්ගයක් වන නැගෙනහිර-බටහිර නල මාර්ගය සක්‍රීය කර ඇත.
2019 දී සෞදි අරාබිය බොරතෙල් රැගෙන යාම සඳහා ස්වාභාවික වායු නල මාර්ගයක් තාවකාලිකව නැවත සකස් කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය අභ්‍යන්තර තෙල් බිම්වල සිට ඕමාන් බොක්කෙහි ෆුජයිරා වරාය දක්වා නල මාර්ගයක් ඉදි කර ඇත. එමගින් දිනකට තෙල් බැරල් මිලියන 1.5 ක් රැගෙන යා හැකිය.
2021 ජූලි මාසයේදී ඉරානය ඕමාන් බොක්ක වෙත තෙල් ගෙනයාම සඳහා ගෝරේ-ජැක්ස්ක් නල මාර්ගය විවෘත කළේය. එයට දිනකට බැරල් 350,000 ක් පමණ රැගෙන යා හැකි නමුත් වාර්තා පවසන්නේ ඉරානය තවමත් එය සම්පූර්ණයෙන්ම භාවිතා නොකරන බවයි.
පාරිසරික බලපෑම් තක්සේරුව ඇස්තමේන්තු කර ඇත්තේ මෙම විකල්ප මාර්ග හරහා දිනකට තෙල් බැරල් මිලියන 3.5 ක් පමණ හැසිරවිය හැකි බවයි. එය දැනට සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කරන බොරතෙල් වලින් 15% ක් පමණ වේ.
උපුටා ගැනීම – BBC සිංහල




