
ඉල්ලීම් 19ක් මුල් කරගෙන තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ තැපැල් වර්ජනය හේතුවෙන් දින හතරක් තුළ ලිපි ලක්ෂ 20ක් පමණ ප්රමාණයක් තැපෑලේ එක්රැස්වී ඇති බවට විශ්වාස කරන බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ලේකම් ජී.කේ.පී. ධර්මදාස මහතා ඊයේ (21දා) පැවසීය.
ගුවන් තැපෑලේ විදෙස් රටවලින් පැමිණි පාර්සල්, ලිපි විශාල තොගයක් තැපැල් මූලස්ථානයට ගෙන ඒමට බලධාරීන් කටයුතු කළත් ඒවා මූලස්ථානයේ පවතින බවද ඒ මහතා පැවසීය.
තැපැල් වෘත්තීය සමිති පසුගිය 17 වැනිදා ඉල්ලීම්වලට විසඳුම් ලබාගැනීම සඳහා බලධාරීන් සමග සාකච්ඡා කිහිපයක් පැවැත්වුවත් ඒවාට නිසි විසඳුමක් නොලැබීම නිසා දින හතරක් පුරා අඛණ්ඩව වැඩ වර්ජනය ක්රියාත්මකව පවතින බවත් තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් වැඩ වර්ජනය ක්රියාත්මක කරන බවත් ඔහු කීය.
මේ සම්බන්ධයෙන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා කියා සිටියේ, තැපැල් සේවකයන් ඇඟිලි සටහන් යන්ත්ර භාවිතයට එකඟවීම සහ වැඩ වර්ජනය අවසන් කර පැමිණෙන්නේ නම් ඔවුන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවය. තැපැල් සේවකයන් ඇඟිලි සටහන් නීතිය නිසියාකාරව ක්රියාත්මක නොකර අතිකාල ලබාගැනීම නිසා එම ගෙවීම් නිර්දේශ කළ නිලධාරීන්ට ඒවාට පිළිතුරු සැපයීමට සිදුවී ඇති බවද ඒ මහතා කීය.




