
ඇඟිලි සලකුණු තැබීම සහ වත්මන් අතිකාල දීමනා පිළිගෙන සේවයට වාර්තා කළහොත් තැපැල් සේවකයන්ගේ අනෙකුත් ඉල්ලීම් 17 සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එම්.එස්. උදුමාලෙබ්බේ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමේදී තැපැල් වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
මේ තැපැල් වර්ජනය සම්බන්ධයෙන් 27-2 යටතේවත් විපක්ෂය කතාකරයි කියා හිතුවා. නමුත් එහෙමවත් ප්‍රකාශයක් වුණේ නෑ. මේ වර්ජනයේ සමගි තැපැල් සංගමයත් සිටිනවා. මම කිව්වා මේ වර්ජනයෙන් යම් අපහසුතාවක් වෙන්න පුළුවන්, පුද්ගලික කුරියර් සේවා තම මිල වැඩි කරන්නත් පුළුවන් කියලා. ඒ නිසා අපි දවස් කිහිපයක් ඉවසලා මේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ඕනෑ. දැන් අපි අදේශකයන් 1000ක් අපි ස්ථිර කරන්න යනවා. ආදේශකයන් ලෙස තව 1000ක් බඳවා ගන්නවා. මේ විදිහට බඳවා ගැනීම් ගණනාවක් කරන්න යනවා. මිලියන 250ක වාහන ගන්න යනවා. අලුතින් තැපැල් කාර්යාල ඉදි කරනවා. නවීකරණය කිරීම්, ඩිජිටල්කරණයටත් මුදල් වෙන් කර තිබෙනවා.
මෙහෙම කරමින් තිබියදී වර්ජනය කරන්නේ කවුද? ශ්‍රී ලංකා නිදහස් තැපැල් වෘත්තීය සමිතිය, එක්සත් ජාතික වෘත්තීය සමිතිය, සමගි තැපැල් වෘත්තීය සමිතිය කියන මේ අය එකතු වෙලා තැපෑලේ වැඩ නවත්වලා තිබෙනවා. මධ්‍යම තැපෑලේ ප්‍රධාන ඉල්ලීම් දෙකයි. එකක් තමයි අතිකාල සඳහා වැඩියෙන් ගෙවන්න කියලා. ඒක පිළිගන්න බෑ. එතැන අතිකාල ගන්න විදිහ කිව්වොත් ඒ සේවකයෝ ලැජ්ජාවට පත් වෙනවා. අතිකාල දෙන්න යනකොට ෆින්ගර් ප්‍රින්ට් එක ඕනා. පාලන කාර්යාලවල සිටින තැපැල් සේවකයන් ෆින්ගර් ප්‍රින්ට් එක භාවිත කරනවානේ. ඇයි මධ්‍යම හුවමාරුවේ අයට පාවිච්චි කරන්න බැරි? මේ ෆින්ගර් ප්‍රින්ට් එක අපි එතැන ස්ථාපිත කරනවා.
දැන් තැපැල් අතිකාල ගැන මම කියන්නම්. දෙවැනි පෙළ තැපැල් සේවකයකුගේ රුපියල් 166ට තිබුණු අතිකාල පැයක් රුපියල් 234ට වැඩි කර තිබෙනවා. දෙවන පෙළ ජ්‍යෙෂ්ඨයකුගේ 254ට තිබුණු අතිකාල පැයක් රුපියල් 370ට වැඩි කරලා තිබෙනවා. පළමු පෙළ සේවකයකුගේ 226ට තිබුණු අතිකාල පැයක් රුපියල් 324ක්, එහි පළමු පෙළ ජ්යෙෂ්ඨයගේ 303 දැන් රුපියල් 439ක් වෙනවා. මෙහෙම වැඩි කරලා භාණ්ඩාගාරයේ මුදල් වියදම් කරනකොට ඒකට වගකීමක් තිබෙන්න ඕනා. 2026 අතට ලැබෙන මූලික වැටුපට තමයි දැන් අතිකාල ලැබෙන්නේ. මෙහෙම අතිකාල වැඩි කර දෙන්න ෆින්ගර් ප්‍රින්ට් එක ඕනෑ වෙනවා. ඒ නිසා අපි මෙය කොහොමහරි කරනවා.
ඒ නිසා මේ දවස් ටිකේ පාඩුව දරාගෙන අපි මේකට මුහුණ දෙමු. මේ වෙලාවේ මේකට මුහුණ දුන්නොත් අපිට මේක නිරාකරණය කර ගන්න පුළුවන්. ගිය අවුරුද්දෙත් අපි බිලියන හතරක් භාණ්ඩාගාරයෙන් වැඩිපුර තැපැල් දෙපාර්තමේන්තුව අරගෙන තිබෙනවා. මෙහෙම අනවශ්‍ය විදිහට ගත්තොත් මෙය බිලියන හතකට, අටකට යන්න පුළුවන්. තැපෑලෙන් උපයන මුදල්වලින් සියයට 70ක් වෙන් කරන්න වෙලා තිබෙන්නේ වැටුප්වලටයි අතිකාලවලටයි. මේක මෙහෙම කරන්න බෑ. මේ ප්රශ්නය දැන් අවසන් කර ගත්තොත් අපිට තැපෑල හොඳ තැනකට ගේන්න පුළුවන්.
මේ අය ඉදිරිපත් කර ඇති ඉල්ලීම් 19 පිළිබඳව තැපැල්පති සහ අමාත්‍යාංශ ලේකම් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවා. සාකච්ඡා කළත් නොකළත් අපි ඒ ඉල්ලීම්වලින් 17 ක්ම අපි දැන් කරමින් ඉන්නවා. මෙතැන තිබුණු මූලිකම දේවල් තමයි අතිකාලයි ෆින්ගර් ප්‍රින්ට් එකයි. ඉතින් මේකට යටවෙන්න බෑ. විශේෂයෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි සලකුණු තියන්න එකඟ වෙලා මේ ඕටී එක අරගෙන ආවාම අපි ඉතිරි ඉල්ලීම් 17 තිබෙන යම් අඩුපාඩුකම් ගැන සාකච්ඡා කරමු. ඒ නිසා මම සජබය, එජාපය, ශ්රීලනිපය, පොදු පෙරමුණ කියන දේශපාලන පක්ෂවලිනුත් ඉල්ලීමක් කරනවා තමන්ගේ වෘත්තීය සමිති එතැනට අරගෙන එන්න.
ඊයේ අර භාගෙට ඇඳගෙන ඇවිත් එක්කෙනෙක් ෂෝ එකක් දැම්මානේ. ලුණුගම්වෙහෙර පැත්තේ හිටපු සභාපති කෙනෙක්. තැපැල් සේවකයන්ට කලිසම, කමිසය, සපත්තු දෙක, මේස් දෙක රජයෙන් ලබා දෙනවා. නැත්නම් මහගන්න කුළිය ලබා දෙනවා. නිල ඇඳුම වෙනුවට කුළිය අතට දෙන්න කියලා ඉල්ලනවා. ඒවා දෙනවා. ඉන්ධන දීමනාවත් දෙනවා. මෙය ඇත්තටම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මෙහෙයවන වැඩ වර්ජනයක්. ඉල්ලීම් 17 ගැන සාකච්ඡා කරන්න සූදානම්. හැබැයි අර ඉල්ලීම් දෙක පිළිඅරන් එන්න ඕනා.




