
කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් වැසී යෑමට ඉඩ නොතබන බවත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කාලය කිසිදු බාධාවක් නොවන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා අපරාධයට හිමි දඬුවම කවදාද, කොතැනද කියා භේදයකින් තොරව දඬුවම් ලබා දීමට වත්මන් රජය කටයුතු කරන බවද අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ “නීතිය සුරකිමු – සාමය අගයමු” තේමාව යටතේ පෙරේදා (03 දා) තිඹිරිගස්යාය, පොලිස් ක්‍රීඩාංගණයේ පැවති 159 වැනි පොලිස් දින සැමරුම් උත්සවය අමතමිනි.
අද සමාජයට අභියෝගයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර සහ නීති විරෝධි අවිආයුධ යෙදා ගනිමින් සිදු කරන අපරාධ වැළැක්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට විශාල වගකීමක් පැවරී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, තම රාජකාරිය නිසි ලෙස ඉටු කරන පොලිස් නිලධාරින් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් නොබියව පෙරට එන ලෙස ආරාධනා කරන බවත් පැවසීය.
එසේම, පොලිස් නිලධාරින් සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා පොලිස් නිලධාරීන්ගේ ප්‍රමාණය ඉහළ නැංවීම, වැටුප් සහ දීමනා වැඩි කිරීම මෙන්ම නව තාක්ෂණික දැනුමෙන් පිරිපුන් නූතන පොලිස් දෙපාර්තමේන්තුවක් ගොඩනැඟීමට රජය කැප වී සිටින බවද සඳහන් කළේය.




