
ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කරදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙනී සිටින බවට වැරදි මතයක් රටේ ඇති නමුත් වර්ධනය වෙනුවෙන් ප්‍රතිසංස්කරණ විය යුත්තේ ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙනී සිටින්නේ ආර්ථික වර්ධනය වෙනුවෙන් නොව ආර්ථිකය ස්ථායීකරණය වෙනුවෙන් පමණක් බව ධනනාත් ප්‍රනාන්දු මහතා පැවැසීය. ආර්ථික වර්ධනය වෙනුවෙන් සිදු කරන ප්‍රතිසංස්කරණ සඳහා මූල්‍ය අරමුදල ඇඟිලි ගැසීමක් නොකරන බවත් එවැනි ප්‍රතිසංස්කරණ සහ උපක්‍රම රජයේ ප්රතිපත්තිවලින් සිදුවිය යුතු බවත් ඔහු පැවැසීය.
ආදායම් වියදම් අතර ප්‍රාථමික ශේෂය 2.3ක අගයක පැවතීම, මහ බැංකුව පවත්වා ගතයුතු සංචිත ප්‍රමාණය, සමාජ ආරක්ෂණ වියදම් ප්‍රමාණය යනාදී කාරණා අයි.එම්.එෆ්. අධීක්ෂණය කරන බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් අයි.එම්.එෆ්. පෙනී සිටින්නේ නැති බවත් එම වර්ධනය යන කාරණය මූල්‍ය අරමුදලේ පථයෙන් එළියේ පැවැතීම මීට හේතුව බවත් ඔහු කීය.
ආර්ථිකය වර්ධනය කිරීම වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කිරීම රජය පැත්තෙන් විය යුත්තක් බවත් ආර්ථික පරිවර්තන පනත බලාත්මක කර ඍජු විදෙස් ආයෝජනවලට දිරිගැන්වීම හා වෙළෙඳපොළ ක්‍රියාවලියට තිබෙන බාධක ඉවත් කිරීම ආදිය රජය කළ යුතු බවත් ඔහු පැවැසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන ආදායම් ඉලක්කවලට ළඟාවේ නම් රාජ්‍ය සතු ව්‍යාපාර හෝ පෞද්ගලික ව්‍යාපාරවලින් ඒවා ඉටු වනවාද යන්න එම අරමුදලට ගැටලුවක් නොමැති බවත් ඔහු පැවැසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබෙන වැඩසටහනේ සිවුවැනි සමාලෝචනය සම්පූර්ණ කර ඇති අතර ඩොලර් බිලියන 2.9ක සම්පූර්ණ ණය මුදලින් මේ වනවිට ඩොලර් බිලියන 1.74ක් ශ්‍රී ලංකාවට ලැබී ඇත.
ජාත්‍යන්තරය මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබෙන මාස 48 වැඩසටහන 2027 වසරේ මාර්තුහි අවසන් වේ.
දකුණු කොරියාව, අයිස්ලන්තය හා අයර්ලන්තය යන රටවල් අයි.එම්.එෆ්. සමඟ ඇතුළත් වූ පළමු වැඩසටහනෙන් සාර්ථක වී ඇති අතර පාකිස්තානය, ඊජිප්තුව, ආජන්ටිනාව යන රටවල් සිය ණය සහ ආර්ථික ස්ථායීකරණ ඉලක්ක පළමු අයි.එම්.එෆ්. වැඩසටහනෙන් සාර්ථක නොවීම මත දෙවැනි වැඩසටහනකටත් ඇතුළත් වී ඇත.




