
විදේශ මානුෂීය ආධාර සඳහා වන එක්සත් ජනපද අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් කපා හැරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් පියවර හේතුවෙන් 2030 වසර වන විට ලොව පුරා තවත් මිලියන 14කට වඩා වැඩි පිරිසක් මිය යා හැකි බව වෛද්‍ය සඟරාවක් විසින් සිදුකරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
ලැන්සෙට් වෛද්‍ය සඟරාව විසින් සිදුකර ඇති මෙම පර්යේෂණයෙන් හෙළිව ඇත්තේ අකල් මරණ අවදානමට ලක්ව සිටින අයගෙන් බහුතරයක්ම ළමුන් බවය.
එය අනුපාතයක් වශයෙන් තුනෙන් එකක්ම බවත් අදාළ පර්යේෂණය මගින් පෙන්වා දී තිබේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මාර්තු මාසයේදී පැවසුවේ ට්‍රම්ප් පරිපාලනය විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියේ USAID හී සියලුම වැඩසටහන්වලින් 80%කට වඩා අවලංගු කර ඇති බවය.
එම වෛද්‍ය සඟරාවේ සම කර්තෘ අදාළ පර්යේෂණ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ බොහෝ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන කම්පනය ගෝලීය වසංගතයකට හෝ ප්‍රධාන සන්නද්ධ ගැටුමකට හෝ සමාන විය හැකි බවය.
අදාළ පර්යේෂකයින් කණ්ඩායම ඇස්තමේන්තු කර ඇත්තේ 2001 – 2021 වර්ෂයන් අතර සංවර්ධනය වෙමින් පවතින රටවල මරණ මිලියන 91ක් USAID අරමුදල මගින් වළක්වා ඇති බවය.
කෙසේ නමුත් මෙම කප්පාදුව හේතුවෙන් 2030 වන විට වළක්වාගත හැකි මරණ මිලියන 14කට වඩා වැඩි විය හැකි බව හෙළිකරගෙන ඇති අතර එම සංඛ්‍යාවට වයස අවුරුදු 5ට අඩු ළමුන් මිලියන 4.5කට වඩා ඇතුළත් වන අතර එය වසරකට ළමා මරණ 700,000ක් පමණ වේ.
අමෙරිකාව ලොව විශාලතම මානුෂීය ආධාර සපයන්නා වන අතර පසුගිය වසරේදී පමණක් අමෙරිකාව ඩොලර් බිලියන 61ක විදේශ ආධාර ලබා දී ඇති අතර එයින් අඩකට වඩා ප්‍රමාණයක් ලබා දී ඇත්තේ USAID හරහාය.