
ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරාවට ම දුම්රිය සඳහා කාන්තා නම් යොදාගෙන තිබුණ ද දුම්රියක් ධාවනය කිරීමේ වගකීම වසර 150කට අධික ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවය තුළ කාන්තාවන්ට හිමි වී නැත.
ඒ, දුම්රිය රියැදුරන් ලෙස කාන්තාවන් බඳවා නොගැනීම හේතුවෙනි. එමෙන් ම, දුම්රිය ස්ථානාධිපති තනතුර ඇතුළු තනතුරු කිහිපයක් ම කාන්තාවන්ට අහිමි කර තිබේ.
ලොව ප්‍රථම අගමැතිනිය බිහි වූ, කාන්තාවක ජනාධිපති ධූරය දැරූ රටක, කාන්තාවක අගමැති ධූරය දරන රටක තවමත් ප්‍රවාහන ක්ෂේත්රයේ ඇතැම් තනතුරු සඳහා කාන්තාවන්ට අවස්ථා අහිමි කර ඇත.
වත්මන් රජය යටතේ මෑතකදී දුම්රිය රියැදුරන් සහ ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවා තිබූ අතර එම අයැදුම්පතෙහි ම සඳහන් කර ඇත්තේ, ‘අයැදුම් කිරීම සඳහා සුදුසුකම් ලබනුයේ පිරිමි අයැදුම්කරුවන් පමණි,’ යනුවෙනි.
“ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් කිරීමට වෙර දරන” වත්මන් ආණ්ඩුවටත් දුම්රිය වෙනුවෙන් කාන්තාවන්ට ඉඩක් ලබා දීමට අමතක වූයේ ද?, අතපසු වූයේ ද?, එසේ නැතහොත් පැවත ආ සම්ප්රදාය ම ඉදිරියට රැගෙන යන්නේ ද?
ගොඩබිම, දියඹ සහ ගුවන ජය ගත් කතුන්
ශ්‍රී ලංකාවේ මෙන් ම ලොව පුරා ම කිසිදු භේදයකින් තොරව කාන්තාවන්, ගොඩබිම, උඩු ගුවන පමණක් නොව මහ සයුරේ ද ප්‍රවාහනය හසුරුවන මෙවන් කාල වකවානුවක මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ කාන්තාවන්ට බාධා පවතින්නේ ඇයි?
මේ වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී ශ්‍රීලන්කන් ගුවන් සේවය මගීන් 117 දෙනෙකු රැගත් යානයක් කටුනායකින් පිටත් කර හැරියේ ගුවන් නියමුවරියන් ඇතුළු සම්පූර්ණ කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විතව ය.
ශ්‍රී ලංකාවේ බහාලුම් දොඹකර ක්‍රියාකරවන්නියන් පිළිබඳව 2017 වසරේදී කොළඹ වරායෙන් මුල් වරට වාර්තා වූ අතර ඔවුන් දකුණු ආසියාවේ පළමු බහාලුම් දොඹකර ක්‍රියාකරවන්නියන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
එමෙන්ම ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස කාන්තාවන් කටයුතු කිරීම දැන් සුලබ දසුනකි.
පෞද්ගලික කුලීරථ සමාගම්වල සේවය කරන රියැදුරුවරියන් මෙන් ම කෑම ප්‍රවාහනය සඳහා යතුරු පැදි රියැදුරුන් ලෙස සේවය කරන කාන්තාවන් නිතර ම මුණ ගැසෙයි.
මගී නැව් මෙන් ම බහාලුම් සහිත නැව් මහ සයුරේ හසුරුවන කාන්තාවන් පිළිබඳව අසල්වැසි ඉන්දියාවෙන් මෙන් ම විවිධ රටවල මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබේ.
ප්‍රහාරක ගුවන් යානා නියමුවරින් ලෙස කටයුතු කරන කාන්තාවන් ද සිටී.
යුරෝපා රටවල බස් රථවල මෙන් ම දුම්රිය රියැදුරන් ලෙස ද කාන්තාවන් බොහෝ දෙනෙක් සේවයේ නිරතව සිටිති.
‘කාන්තාවන් දිරි ගැන්වීම, පිළිගැනීම අතින් පසුගාමී තැනක ඉන්නේ’
රටක් සංවර්ධනය කිරීමට සමාජයේ සෑම කොටසකට ම නිසි වටිනාකමක් සහ පිළිගැනීමක් ලැබිය යුතු බව මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය අමල් කුමාරගේ බීබීසී සිංහල සේවයට පැවසීය.
“ප්‍රවාහන ක්ෂේත්රයේ තාක්ෂණය පැත්තෙන් පසුගාමීව ඉන්නේ, විද්‍යාත්මක මැදහත්වීම් පැත්තෙන් පසුගාමීව ඉන්නේ, ඒ වගේ ම සමාජීය වශයෙන් කාන්තාවන් දිරි ගැන්වීම, පිළිගැනීම අතින් පසුගාමී තැනක ඉන්නේ.”
කාන්තාවන්ගේ ඡන්ද අයිතිය සම්බන්ධව පුරෝගාමීත්වය දැක්වුව ද අනෙක් ක්ෂේත්‍ර කෙරෙහි උනන්දු කරවීම අවම මට්ටමක පවතින බව මහාචාර්යවරයා සඳහන් කළේ ය.
“අපේ රටේ ඡන්ද දැමීමේ අයිතිය ගැන අපි කතා කරනවා. නමුත් අපිට පේනවා කාන්තාවන්ව අනිත් දේවල්වලට ඇතුළත් කිරීම, පුහුණු කිරීම, දිරි ගැන්වීම වගේ දේවල් හුඟක් හෙමින් වෙන්නේ.”
රජය මැදිහත් වී ප්‍රතිපත්තිමය වශයෙන් මෙවැනි දෑ වෙනස් කළ යුතු බවත් කාන්තාවන් අතර මෙන් ම ජන කොටස් අතර බෙදී යාමක් ඇති වන පරිදි වෙනස්කම් සිදුවිය යුතු යැයි මහාචාර්ය අමල් කුමාරගේ අවධාරණය කළේ ය.
‘ප්‍රවාහනය කාන්තාවන්ට භාර දීමේ ඇමති සිහිනය’
“දුම්රිය සේවයේ ගොඩාක් තනතුරු තිබෙනවා ඒවායේ කිසි ම කාන්තාවක් වැඩ කරන්නේ නැති ක්ෂේත්‍ර තියෙනවා. බස්වලත් එහෙමයි, ලංගමෙත් තියෙනවා. අපි හෙටට යෙදෙන කාන්තා දිනය නිමිත්තෙන් අමාත්‍යංශයේ ඇමතිවරු තුන් දෙනා ම තීන්දු කරලා තිබෙනවා අපේ ලංගම ඒ වගේ ම දුම්රිය සේවය මේ හැම එකට ම කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීන්දුව අපි අරන් තියෙනවා. බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඉතා ම කාර්යක්ෂමව වැඩ කරන බස් රථ රියැදුරුවරියන්, දුම්රිය රියැදුරන්, නියාමකයින් ඒවගේ අය අපිට තව අවුරුදු කීපයක් යනකොට දකින්න හම්බ වෙයි කියලා. සිහිනයක් තියෙනවා ස්කූල් බස් සර්විස් එක වැඩිපුර කාන්තාවන්ට භාර දෙන්න.”
මෙවර කාන්තා දිනයට පෙර දිනයේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පළ කළේ ය.
එසේනම්, දුම්රිය සේවයේ තනතුරු කාන්තාවන්ට අකැප වූයේ ඇයි?
කාන්තාවන් බඳවා නොගැනීම ගැන අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය
දුම්රිය දෙපාර්තුමේන්තුවේ තනතුරු සඳහා කාන්තාවන් බඳවා නොගැනීම සම්බන්ධව ඇතිව තිබෙන කතාබහ සම්බන්ධව ඇමතිවරයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වා ඇත.
දුම්රිය රියැදුරන් ඇතුළු තනතුරු කිහිපයකට කාන්තාවන් බඳවා නොගන්නා බව දැනුවත් වූයේ අමාත්‍ය ධූරයට පත් වීමෙන් පසුව බවත් එම තත්ත්වය වෙනස් කිරීමට පියවර ගනිමින් සිටින බවත් ඇමතිවරයා සිය සටහනේ දක්වා ඇත.
මෙවර බඳවා ගැනීමේදී එම තත්ත්වය වෙනස් කර ගත නොහැකි වීම ගැන බිමල් රත්නායක අමාත්‍යවරයා එහිදී කරුණු දක්වා ඇති අතර එම සම්පූර්ණ සටහන මෙසේ ය,
“මේ දවස්වල දුම්රිය සේවයේ තනතුරුවලට නිලධාරීන් බඳවා ගන්නවා. ඒ ගැන තිබෙන එක සංවාදයක් තමයි සමහර වෘත්තීන්වලට කාන්තාවන් බඳවා නොගැනීම පිළිබඳ ප්රශ්නය. මම හිතුවා ගැන පොඩ්ඩක් ලියන්න.
දුම්රිය රියැදුරන් විදිහට කාන්තාවන් බඳවා නොගන්නා බවත්, දුම්රිය නියාමකයන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන් විදිහට පිරිමින්ට පමණක් අවස්ථාව දී ඇති බවත් මම දැනගත්තේ ඇමැතිවරයා වුණාට පස්සේ.
මොක ද මම කුඩා කාලේ ඉඳල ම දුම්රිය නිතර භාවිත නොකරන ඉතා ම විශේෂ අවස්ථාවකදී විතරක් පාවිච්චි කරන කෙනෙක් නිසා.
මේ තත්ත්වය දැනගත්තට පස්සේ ආමාත්‍යංශ ලේකම්තුමාටත්, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාටත්, ලංගම ප්රධානීන්ටත් ඒක වෙනස් කරන ලෙසත් කාන්තාවන් මේ සියලු වෘත්තීන්ට බඳවා ගත යුතු බවත් දැනුම් දුන්නා. හැබැයි ඒ සඳහා දුම්රිය සේවා ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යි.
ඒ අතර ම දුම්රියට අතිවිශාල සේවක හිඟයක් තිබෙන නිසා දුම්රිය සේවා පුරප්පාඩු පුරවන්න නමසිය නම දෙනෙක් බඳවා ගන්න දෙසැම්බර් මාසෙදි ම ඉල්ලීම් කළා. එය පෙබරවාරි වන විට අගමැති ලේකම් යටතේ තිබෙන කමිටුවකින් අනුමත කරලා එවලා තිබුණා. ඒ බඳවා ගැනීමට අදාළ කරන ගැසට් සකස් කරල තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය මත පවතින සේවා ව්‍යවස්ථා මත.
ඒ නිසා මේ තනතුරුවලට කාන්තාවන් බඳවා ගන්න පුළුවන් වෙන්නේ නැවත සේවා ව්‍යවස්ථාව වෙනස් කරලා ඒක රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමත කරගෙන නැවත ගැසට් කිරීමෙන් පමණ යි. ඒ ටික කරගෙන මේ බඳවා ගැනීම් තව මාස ගණනක් කල් යන එක වළක්වන්න බැහැ.
(මෑතකදී කරන ලද දුම්රිය වැඩ වර්ජන දෙකක ම පදනම වුණේ වසර හත අටකින් ඒ තනතුරුවලට කිසි ම කෙනෙක් බඳවා නොගැනීම පිළිබඳ ප්රශ්නය යි).
එම නිසා මෙවර බඳවා ගැනීම්වලට කාන්තාවන්ව බඳව ගන්න බැරි වෙන බව දැනගෙන ම අත්‍යවශ්‍ය පුරප්පාඩු ඉක්මනින් ම පුරවන්නත්, මේ වසරේ ම අලුත් බඳවා ගැනීම්වලදී කාන්තාවන්ට මෙම වෘත්තීන්ට ඇතුළු විය හැකි පරිදි මෙම සේවා ව්‍යවස්ථාවන් වෙනස් කිරීමත් කළ යුතු බව තීරණය කරලා දුම්රිය රියැදුරන්ගේ වෘත්තීය සමිතිය, දුම්රිය නියාමකයන්ගේ වෘත්තිය සමිතිය සමගත් මේක අපේ ප්‍රතිපත්තිය බව දැනුවත් කරලා මාස කිහිපයක් වෙනවා.
ඒ නිසා ම මාර්තු මාසේ 7 තිබිච්ච මගේ අයවැය කතාවෙදි මම මේ කාරණය ඉස්සෙල්ල ම කිව්ව රටට අපි මේක කරන බව. ඒක එහෙම කරන්නේ රටේ අගමැතිනිය කාන්තාවක් නිසාවත්, ලංකාවේ පාර්ලිමේන්තුවේ වැඩි ම කාන්තා නියෝජනය මේ වෙලාව තියෙන නිසාවත් නෙමෙයි. ඒක අපේ සමාජ දැක්ම සහ ගැහැනු හා පිරිමි අපි ඔක්කොම එකතු වෙලා හදපු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා.
මගේ කතාවේදී මම පැහැදිලිව කිව්වා දුම්රියටත්, ලංගමටත් කාන්තාවන් බඳවා ගන්නා බවත් ලංගමේ 1960 ගණන්වල රියැදුරුවරියන් සේවය කර ඇති බවත්,
ඒ වගේ ම ලංකාවේ පාසල් සේවය කාන්තා රියැදුරුවරියන් සහ කොන්දොස්තරවරියන්ගෙන් ආරම්භ කිරීමට මේ වසර තුළ අපට සිහිනයක් ඇති බවත්.(ඒ අලුත් පාසල් බස්වල Design පවා අපි දැන් කරගෙන යනවා)
ඒ සියල්ලට අදාළ කරන දේවල් අපි පටන් අරන් තිබෙනවා.
ඒ කිසි ම දෙයක් ගැන දන්නෙත් නැතුව, හොයලා බලන්නෙත් නැතුව, අඩු ගාණේ අහන්නේවත් නැතුව, දශක ගණනාවක් තිස්සේ කෝච්චියේ ම ගියා වුණත් කවදාවත් මේ වගේ යෝජනාවක් බරපතළ මට්ටමින් කරපු නැති, ඕන නම් එවැනි යෝජනාවක් අපිට SMS එකකින් හරි එවන්න පුළුවන්කම තියෙද්දි, පණ්ඩිතමානී විදියට සහ ද්වේශසහගත බව තැවරිච්ච විවේචන ඉදිරිපත් කරන කොට අපි කරන දේ ගැන දුක හිතෙන්නේ නෑ.
මේවා ලියන සමහර චරිත පිළිබඳව තිබිච්ච කියවීම කොච්චර නිවැරදි ද කියන ගැටලුව නම් එනවා. මට එතකොට ආයිත් Amadeus Mozart බලන්න හිතෙනවා!
දුම්රිය කාලයක් තිස්සේ පීලි පන්නල තිබුණට, අපේ ප්‍රතිපත්ති අරමුණු, හෘද සාක්ෂිය පීලි පැනලා නෑ!” (උපුටා ගැනීම අවසන්)
‘අපි ඒක ඉස්සරහට වෙනස් කරනවා’
මේ අතර, බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ, පිරිමින් පමණක් බඳවා ගන්නා ක්‍රමවේදය වෙනස් කිරීමට මේ වන විට අවශ්‍ය උපදෙස් අමාත්‍යංශය හරහා ලැබී ඇති බව මෙන් ම ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව ය.
“ඉස්සර ඉඳන් ම කාර්ය ස්වාභාවය අනුව තිබුණ දෙයක්. නමුත් දැන් අමාත්‍යංශයේ උපදෙස් ලැබිලා අපි ඒක ඉස්සරහට වෙනස් කරනවා”
උපුටා ගැනීම – BBC සිංහල