
බන්ධනාගාරගත රැඳවියන් කීපදෙනකු විසින් පිටත පුද්ගලයන්ට දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (27දා) කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

බන්ධනාගාරගතව සිටින කිසියම් රැඳවියන් පිරිසක් විසින් ජංගම දුරකථනය හරහා තමන්ට මරණීය තර්ජනය සිදුකරන බවට පුද්ගලයන්ගෙන් නිර්නාමික පැමිණිලි ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසත් එම අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියෝග කෙරිණි.
එම මරණීය තර්ජනය එල්ල කළ රැඳවියන් රඳවා සිටින බන්ධනාගාරය පිළිබඳව හෝ එම මරණීය තර්ජනයට ලක් වූ පුද්ගලයන් කවුද යන්න පිළිබඳව මෙතෙක් හඳුනාගෙන නොමැති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.
දුරකථන විශ්ලේෂණ වාර්තා හරහා සැකකරුවන් හඳුනා ගැනීමට පියවර ගෙන ඇති බැවින් ඒ සඳහා අදාළ දුරකථන සමාගම්වලට නියෝගයක් ලබාදෙන ලෙසට විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමට අධිකරණයේ අවසරය හිමි විය.
විමර්ශන නිලධාරීන් දැක්වූ කරුණු සලකා බැලූ ප්රධාන මහෙස්ත්රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා ඊට සම්බන්ධ සැකකරුවන් සිටී නම් ඔවුන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.




