
නුවන් තාරකගේ ජංගම දුරකථනය දිගින් දිගටම නාද වෙමින් තිබුණේය. ඇමතුම ලැබෙන්නේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ඩුබායි ලොක්කාගෙන්ය. “තාරක මල්ලි වැඩේ කරන්න සේරම ලෑස්ති කරලා තියෙන්නෙ. 22 වැනිදා උදේ ආයුදේ උඹේ අතට ලැබෙයි. වැඩේ හරියට කරපං. ඊට ඉස්සර ලක්ෂ 15ක් අපි ගෙවනවා. වැඩේ කළාට පස්සේ ඉතිරි ලක්ෂ 05 දෙන්නම්…”

ඩුබායි ලොක්කා දුරකථනය ඔස්සේ නුවන් තාරකට කීවේය. “හරි… හරි… ලොකු අයියා මම වැඩේ කරන්නම් හතේ හත වැදිලා ඉන්නෙ සල්ලි ටික වෙලාවට ලැබුණොත් ඇති”
දැඩි මූල්‍ය අර්බුදයක සිටි නුවන් තාරක කීවේය. අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි ඔහු දෛනිකව විශාල මුදලක් ඒ සඳහා යෙදෙව්වේය. ස්ථිර රැකියාවක් නොතිබුණු නිසා මත්ද්‍රව්‍ය භාවිතයට අවශ්‍ය මුදල් උපයා ගැනීමට ඕනෑම දහදුරා වැඩක් කිරීමට ඔහු පෙළඹී සිටියේය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා මරා දැමීමට අවශ්‍ය සියලු කටයුතු ඒ වනවිට සම්පාදනය කර තිබුණේය. ඝාතනයේ මහ මොළකරු ලෙස කටයුතු කළේ ඩුබායි ලොක්කාය.
බූස්ස බන්ධනාගාරයේ සිට ඝාතනය මෙහෙය වීම
පාතාල ලෝකයේ නමගිය අපරාධකාරයකු ලෙස කාලයක් තිස්සේ සැරිසරමින් සිටිය ද ඩුබායි ලොක්කාගේ නම කරලියට එන්නේ මිදිගම ලසා ඝාතනය කිරීමෙන් පසුවය. විමර්ශන නිලධාරීන් මේ වනවිට හෙළිකර ගෙන ඇති තොරතුරුවලට අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා මරා දමා ඇත්තේ මිදිගම රුවන් නමැති පාතාල නායකයාගේ අවශ්‍යතාව මතය.
මිදිගම රුවන් මේ වනවිට රඳවා සිටින්නේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේය. බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයක් වුව ද එහි රඳවා සිටින දරුණු ගණයේ අපරාධකාරයන්ට අවශ්‍ය නීති විරෝධී භාණ්ඩ ඕනෑම එකක් ඔවුන්ට ලබාගත හැකිය. මේ බන්ධනාගාරය තුළ රඳවා සිටින බොහෝ අපරාධකාරයන් ජංගම දුරකථන පාවිච්චි කරති. ඒ හරහා ඔවුන්ට රටේ ඕනෑම අපරාධයක් මෙහෙයවිය හැකිය. මත්ද්‍රව්‍ය හෝ වෙනත් ජාවාරමක් ක්‍රියාත්මක කළ හැකිය. මිදිගම ලසා ඝාතනය මෙහෙයවන්නේ ඒ ආකාරයට බව මේ වනවිට හෙළි වී හමාරය.
මිදිගම ලසා එහෙමත් නැත්නම් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මිදිගම රුවන්ගේ බද්ධ වෛරකාරයකු බවට පත්ව සිටිය ද ඔවුන් කලක් ගජ මිතුරන් ලෙස සිටියහ.
මෙරට පාතාලයේ මෙන්ම මත්ද්‍රවය ජාලයේ නොම්මර එකේ අපරාධකාරයකු ලෙස නම් දරා සිටින හරක්කටාගේ කල්ලියේ ප්‍රධානින් තුන් හතර දෙනකු වූහ. ඒ අතර මිදිගම රුවන්, මිදිගම චූටි සහ මිදිගම ලසා ද සිටියෝය. හරක්කටා සහ මිදිගම ලසා කුඩා කල සිටම මිතුරන් වූහ. ඒ මිතුදම පසු කලෙක එකම පාතාලයේ සාමාජිකයන් වීම දක්වාම බැඳී තිබුණේය. හරක්කටා මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වී ශ්‍රී ලංකාවට රැගෙන ඒමත් සමගම කාලයක් තිස්සේ ඔහු විසින් මෙහෙය වූ පාතාල කල්ලිය කැඩී බිඳී යන්නට විය. හරක්කටාගේ පාතාල කල්ලිය එසේ බෙදී වෙන්වන්නේ එහි නායකත්වය පිළිබඳව ඇති වූ ගැටුම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාලයේ ඇති වූ ආරවුල් නිසාය. මිදිගම රුවන් විසින් වෙනම පාතාල කල්ලියක් බිහිකර ගත් අතර මිදිගම චූටි සහ මිදිගම ලසා එකම කල්ලියකට සම්බන්ධ වී සිටියහ.
මිදිගම චූටි සහ මිදිගම ලසා හරක්කටා සමග පැවති සබඳතා අතහැරියේ ද නැත. මිදිගම රුවන් සහ මිදිගම ලසා අතර ආරවුල් උත්සන්න වීමට කාරණා කීපයක් ම බලපෑවේය. හරක්කටා අත්අඩංගුවට පත්වී ටික කාලයක් යනතුරු මිදිගම රුවන්, මිදිගම චූටි සහ මිදිගම ලසා එකට වැඩ කළෝය. එහෙත් ඔවුන් අතර ගැටුම් හටගන්න මූලික වූ ප්‍රධානම කාරණයක් බවට පත්වුණේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධයෙන් පැවති ආරවුල්ය. තහවුරු නොවූ ආරංචි මාර්ග පවසන අන්දමට මිදිගම රුවන් ඩුබායිහි සැඟවී සිටි කාලසීමාවේදී හොරොයින් කිලෝග්‍රෑම් 50ක් දකුණු මුහුදු තීරය ඔස්සේ මෙරටට එවා තිබුණේය. මේ හෙරොයින් තොගය මිදිගම චූටිගේ ගෝලයන් විසින් භාරගෙන තිබුණේය. මේ කුඩු තොගය ශ්‍රී ලංකාවට පැමිණි කාලවකවානුවේදීම මිදිගම රුවන් අත්අඩංගුවට පත් වුණේය. තමන් විශාල මුදලක් වැයකර එවූ කුඩු තොගය ඒ වනවිට අතුරුදන්ව පැවතියේය. එහෙත් පසුව කුඩු තොගයෙන් හරි අඩක් එහෙමත් නැත්නම් කිලෝග්‍රෑම් 25ක් එළියට ආවේය. ඉතිරි කිලෝ 25ට සිදුවූ දෙයක් නැත.
මේ කුඩු ආරවුල මිදිගම රුවන් සහ චූටි අතර ලොකු ආරවුලක් බවට පත්ව තිබුණේය. මේ අතර මිදිගම රුවන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු ඔහු ආයුධ පෙන්වීමට රැගෙන ගොස් අනතුරක් කිරීමට මිදිගම චූටි සහ මිදිගම ලසා සැලසුම් කරගෙන සිටි බවට තොරතුරක් රුවන්ට ලැබී තිබුණේය. සත්‍ය අසත්‍යතාව තහවුරු නොවූ මේ ආකාරයේ තොරතුරු එකින් එක ලැබෙන්නට පටන් ගැනීමත් සමගම මිදිගම රුවන්ගේ වෛරය දිනෙන් දිනම පැසවන්නට වුණේය.
මිදිගම ලසා ප්‍රාදේශීය සභාවට
මේ අතර මිදිගම ලසා වැලිගම ප්‍රාදේශීය සභාවට තරග කිරීමට ඉදිරිපත් වුණේය. ලසාගේ ජයග්‍රහණය වෙනුවෙන් හරක්කටා මෙන්ම මිදිගම චූටි ද ලොකු ගේමක් ගැසුවෝය.
“අපේ එකෙක් දේශපාලනේට එන එක කොයිතරම් ලොකු දෙයක් ද ඒක අපට ලොකු හයියක්”
මිදිගම චූටි මෙන්ම හරක්කටා සිටියේ ද එවැනි ස්ථාවරයකය. එහෙත් ලසා දේශපාලනයට පැමිණ එහි ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීම පිළිබඳව මිදිගම රුවන් තුළ පැවතියේ දැඩි ඊර්ෂ්‍යාවකි. වෛරයකි. මේ අතර මිදිගම රුවන්ගේ සමීප ඥාතියකු පොලිස් විශේෂ කාර්ය බළකායට කොටු වුණේය. ඒ ටී56 ආයුධ 4ක් ඇතුළු තවත් අවි ආයුධ තොගයක් සමගය. තම ඥාතියා ආයුධ සමග STF අත්අඩංගුවට පත් කිරීමට ඔත්තුව දුන්නේ මිදිගම ලසා විසින් බවට විශාල සැකයක් මිදිගම රුවන්ට මතු වී තිබුණේය.
මිදිගම රුවන් ලසා කෙරෙහි පැවති වෛරය දෙගුණ තෙගුණ කිරීමට මේ සිදුවීම හේතු විය. ඒ වනවිට මිදිගම ලසා වැලිගම ප්‍රාදේශීය සභා ඡන්දයෙන් ජයගෙන මන්ත්‍රීවරයකු බවට පත්ව සිටියේය. ලසා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූවොත් ඔහු තව තවත් බලවත් පුද්ගලයකු බවට පත්වන බව මිදිගම රුවන්ට සිතුණා විය යුතුය.
මිදිගම ලසා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වීම වැළැක්වීම මිදිගම රුවන්ගේ පළමු ප්රයත්නය වුණේය. මිදිගම රුවන්ගේ නියෝග සහ උපදෙස් මත ඔහුගේ පාතාල කල්ලියේ සියලු ක්‍රියාකාරකම් සිදු කළේ ඩුබායි ලොක්කා විසින්ය. රුවන්ගේ පාතාල වැඩ මෙන්ම මත්ද්‍රව්‍ය ජාලය ද මෙහෙයවනු ලැබුවේ ඩුබායි ලොක්කාය.
බූස්සේ සිට ඩුබායිවලට ඇමතුමක්
“ලසා සභාපති වුණොත් අපිව තව තවත් හිර කරන්න බලයි. ඌ දැන් වෙනම ගමනක් යන්න හදන්නෙ. ඒ නිසා අපි මිනිහා සභාපති වෙන එක නතර කරන්න ඕනෙ. ඒකට මොකක් හරි ගේමක් ගහපං…” මිදිගම රුවන් බූස්ස බන්ධනාගාරයේ සිට ඩුබායි ලොක්කාට කීවේය.
ඒ වනවිට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව සඳහා ලොකු ආරවුලක් මතු වී තිබුණේය. ප්‍රාදේශීය සභාවේ බහුතරය පෙන්වීම සම්බන්ධයෙන් මතුවී තිබූ අවුල දුරදිග ගොස් තිබුණේය. ජාතික ජනබලවේග පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ද ලසා වෙත ඒ වනවිට චෝදනා එල්ල විය.
මිදිගම ලසා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවීම වැළැක්වීම සඳහා ඔහුට බරපතළ චෝදනාවක් එල්ල කළ යුතු බව මිදිගම රුවන් හොඳින් දැන සිටියේය. ඒ සඳහා ඔහු සැලසුමක් සකස් කළේය. ජාතික ජනබලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රි නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තබා ඔහුට මරණීය තර්ජන එල්ල කිරීම හරහා එහි වගකීම මිදිගම ලසා වෙත පැටවීම මිදිගම රුවන්ගේ සැලසුම විය. මේ සැලසුම ක්‍රියාත්මක කළහොත් මිදිගම ලසාට සභාපති වීමට ඉඩක් නොලැබෙනු ඇතැයි ඔහු සිතුවා විය යුතුය. මිදිගම රුවන් මේ සැලසුම ක්‍රියාත්මක කිරීමේ කාර්ය භාර දුන්නේ ඩුබායි ලොක්කා වෙතය. මිදිගම රුවන්ගේ මස්සිනා ද ඒ සඳහා සම්බන්ධ කර ගත්තේය. තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීම සඳහා අවශ්‍ය කරන අවිය සහ ඒ සඳහා යෑමට යොදාගන්නා යතුරුපැදිය ලබාදුන්නේ මිදිගම රුවන්ගේ මස්සිනා විසින්ය. වෙඩික්කරු ලබාදුන්නේ ඩුබායි ලොක්කා විසින්ය.
නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට ටී 56 අවියකින් වෙඩි තබා ඔහු භීතියට පත් කළ නාඳුනන තුවක්කුකරුවන් පලාගොස් තිබිණි. මේ සියලු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මිදිගම ලසා වෙත චෝදනා එල්ල වන්නට විය. මෙවැනි වාතාවරණයක් උඩ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේ ඡන්දය පැවැත්වුණේය. ඡන්ද 23ක් ලබාගෙන ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ජයගන්නේ මිදිගම රුවන්ගේ බලාපොරොත්තු සැලසුම් සියල්ල බොඳකර දමමින්ය.
මේ අතර නීතිඥ තාරක නානායක්කාර නිවසට වෙඩි තැබීමේ සැලසුමේ සිටි මිදිගම රුවන්ගේ ඥාතියා ද පොලිස් අත්අඩංගුවට පත් වුණේය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ මිදිගම රුවන් බවත් ඔවුන්ගේ අරමුණ වී තිබුණේ ලසා පරාජයට පත් කිරීමට බවත් පොලිසිය හෙළිකර ගත්තේය.
මිදිගම ලසා ඝාතනයට සැලසුම්
ලසාට එරෙහිව සිදුකළ සැලසුම් ව්‍යර්ථවීම ගැන මිදිගම රුවන් සිටියේ දැඩි වෛරයකින් යුතුවය. ලසාව නතර කිරීමට මඟක් නොමැති තැන ඔහු කරලියෙන් ඉවත් කිරීමට මිදිගම රුවන් තීරණය කළේය. එතැන් සිට ඔහු ඒ සඳහා සැලසුම් සකස් කරන්නට පටන් ගත්තේය. ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමේ කාර්ය භාර කෙරුණේ ද ඩුබායිහි සිටින තම විශ්වාසවන්තම සගයා වූ ඩුබායි ලොක්කා වෙතය. සති කීපයක් තිස්සේ මිදිගම රුවන් සහ ඩුබායි ලොක්කා අතර රහසිගත සාකච්ඡා පැවතියේය.
ඒ වනවිට මිදිගම ලසා තම ආරක්ෂාව වෙනුවෙන් නොයෙකුත් ක්‍රියා මාර්ග අනුගමනය කරමින් සිටින බව මිදිගම රුවන් මෙන්ම ඩුබායි ලොක්කා ද සොයා ගන්නේ සිය ඔත්තුකරුවන් මාර්ගයෙන්ය. මිදිගම ලසා තම පදිංචිය පවා වෙනස් කරමින් සිටින බවත් ප්‍රාදේශීය සභාවට එන්නේ නොයෙකුත් රහසිගත ස්ථානවල සිට බවත් ඔවුන් සොයාගත්හ.
මේ අතර තම ජීවිතයට මිදිගම රුවන්ගෙන් සහ රොටුඹ අමිලගෙන් තර්ජන තිබෙන බවට මිදිගම ලසා ලිපියක් මගින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණේය.
මිදිගම ලසා තම ගමන් බිමන් ගැන ආරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන තිබෙන නිසා ඔහු මරා දැමීමට පහසුම ස්ථානය වැලිගම ප්‍රාදේශීය සභාවේ ඔහුගේ නිල කාමරය බව මිදිගම රුවන් මෙන්ම ඩුබායි ලොක්කා ද තේරුම් ගෙන සිටියහ.
ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ඝාතනය කිරීමේ සැලසුම සකස්වන්නේ ඉන් අනතුරුවය. මිදිගම රුවන් අවශ්‍ය උපදෙස් ලබාදුන්න ද ප්‍රහාරය මෙහෙයවීමේ සියලු කටයුතු සැලසුම් වන්නේ ඩුබායි ලොක්කාගේ මූලිකත්වයෙන්ය.
ලසා ඝාතනය සඳහා නුවන් තාරක තෝරා ගන්නේ ඒ අනුවය. කාලයකට උඩදී රුවන් තාරක ආරක්ෂක අංශයක සේවය කර තිබුණ ද මෑත කාලයේ ඔහු ස්ථීර රැකියාවක් කර තිබුණේ නැත. දඩයමේ ගොස් සතුන් මරා විකිණීම ඇතුළු නොයෙකුත් පව් ක්‍රියාවල නිරත වෙමින් ඔහු මුදල් ඉපයූවේය. රන් පැටියා යනු මෙරට මත්ද්‍රව්‍ය පාතාලයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකි. ඩුබායි රාජ්‍යයට වී මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන රන් පැටියා මිදිගම රුවන්ගේ මෙන්ම ඩුබායි ලොක්කාගේ සමීපතමයෙකි.
මිදිගම ලසා ඝාතන සැලසුමට රන් පැටියා ද සම්බන්ධ කරගන්නට ඩුබායි ලොක්කා කටයුතු කළේය. ප්‍රහාරය සඳහා අවශ්‍ය කරන මුදල් ලබාදීම කරනු ලැබුවේ රන්පැටියා විසින්ය.
‘ලසා’ ඝාතනය කිරීම වෙනුවෙන් ලබාදීමට පොරොන්දු වූ රුපියල් විසිලක්‍ෂයෙන් රුපියල් පහළොස් ලක්ෂයක මුදලක් නුවන් තාරක වෙත ලබා දෙන්නට කටයුතු කළේ රන්පැටියා විසින්ය.
මිදිගම ලසා මරා දැමීම සඳහා අවශ්‍ය කරන පිස්තෝලය සහ යතුරුපැදිය ලබාදෙන්නේ ඩුබායි ලොක්කා විසිනි. පසුගිය 22 වැනිදා උදෑසන 10.30ට පමණ වැලිගම ප්‍රාදේශීය සභාව වෙත පැමිණි නුවන් තාරක සභාපතිවරයාගේ කාමරය වෙත යන්නේ ලිපියකට අත්සනක් ලබාගැනීමට අවශ්‍ය බව කියමින්ය.
ආරක්ෂකයන් පිරිවරාගෙන සිටියද ලසා ඒ මොහොතේ කාමරය තුළ සිටියේ තනිවමය. කිසිම ගැටලුවකින් තොරව ලසා අසලටම ගොස් ඔහුට වෙඩි තබා ඝාතනය කළ නුවන් තාරක සිය රථචාර්්යවරයා වූ ලහිරු ද සමග යතුරුපැදියේ නැගී ප්‍රාදේශීය සභා භූමියෙන් පිට වුණේය.
ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ප්‍රාදේශීය සභාවේ සභාපති නිල කාමරයේ පුටුව මතදීම වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් මුළු රටම උණුසුම් වුණේය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද දැඩි වාග් ප්‍රහාර සිදු වුණේය.
මිදිගම ලසා සහසික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ මූලික විමර්ශන කටයුතු දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරිණි.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඊට අවශ්‍ය සියලු පහසුකම් මෙන්ම උපදෙස් ද ලබා දුන්නේ කෙසේ හෝ මේ ඝාතනයේ සුලමුල කෙටි කාලයකින් අනාවරණය කරගෙන ඊට සම්බන්ධ අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීම සඳහාය.
මාතර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත ජයමිණි කුමාර, සහකාර පොලිස් අධිකාරි උදය කුමාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන ආරම්භ කළහ. මෙම මෙහෙයුමේ මූලිකයා ලෙස කටයුතු කළේ වැලිගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ජී. ඩබ්ලිව්. සනත් කුමාර මහතාය. ඒ වනවිට ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ඝාතනය පිළිබඳ කිසිදු තොරතුරක් පොලිසිය වෙත ලැබී තිබුණේ නැත. පොලිසියේ ප්‍රධානම සැලසුම වී තිබුණේ ඝාතකයන් පලා ගිය ප්‍රදේශ හඳුනාගැනීමට මග දෙපස ඇති සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරිමය. ඒ සඳහා වෙනම පොලිස් කණ්ඩායමක් කටයුතු කළ අතර ඝාතනයන් සිදුකළ දුරකථන පණිවිඩ පිළිබඳ සෙවීමට තවත් කණ්ඩායමක් යොදවනු ලැබීය.
කෙසේ හෝ පැය 24ක් තිස්සේ හැල්මේ දිවූ පොලිස් කණ්ඩායම් 4 ඉතාම වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගත්තේය. මෙම ඝාතනය සිදුකළ නුවන් තාරක පදිංචි නිවස ගාල්ල ප්‍රදේශයෙන් සොයාගත් පොලිසිය එය ද පරීක්ෂා කළේය. එහෙත් ඒ වනවිටත් තාරක සිය බිරිඳ සමග නිවස අතහැර ගොස් සිටියේය. මේ අතර විමර්ශනයට අදාළ වැදගත්ම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසියේ නිලධාරීන්ට හැකිවිය. මිදිගම ලසා ඝාතනය කිරීමට පෙර නුවන් තාරක සහ ඔහුගේ බිරිඳ ගමන්බිමන් ගිය ත්‍රිරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
ත්‍රිරෝද රථ රියදුරුගෙන් නුවන් තාරකගේ ජංගම දුරකථන අංකය ලබාගත් පොලිස් නිලධාරීන් එය මේ වනවිට ක්‍රියාත්මක වන ස්ථානය හඳුනාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඉල්ලා සිටියේය.
ඒ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද ලසා ඝාතනයේ සැකකරුවන් ලුහුබඳිමින් සිටියහ. නුවන් තාරකගේ ජංගම දුරකථන අංකය සොයා ගැනීමත් සමගම විමර්ශන නව මාවතකට යොමුවිය. නුවන් තාරක භාවිතා කරන ජංගම දුරකථනය කැකිරාව පොතාන නිවාස 50 නමැති ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව විමර්ශන නිලධාරීන් සොයා ගත්හ. ඒ වනවිට ඝාතකයන් හඹායන විමර්ශන කණ්ඩායම් සියල්ල ඒකාබද්ධ කර වට්ස්ඇප් ගෲප් එකක් සකස් කිරීමට විමර්ශන නිලධාරීන් කටයුතු කරගෙන සිටියහ. තමන්ට ලැබෙන සියලු තොරතුරු මේ ගෲප් එක හරහා බෙදාගැනීමට ඔවුන් කටයුතු කළේ විමර්ශනය පහසු කරගැනීමටත් අපරාධකරුවන් කඩිනමින් කොටු කරගැනීමත් අරමුණු කරගෙනය. ඒ අනුව කැකිරාව පොතාන නිවාස 50 ප්‍රදේශය වෙත පොලිස් විශේෂ කාර්ය බළකාය, රාජ්‍ය බුද්ධි අංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කණ්ඩායමක් පිටත් කර යැවීමට පොලිස්පතිවරයා කටයුතු කළේය. පොලිස් කණ්ඩායම පොතාන ප්‍රදේශය වෙත යනවිට රාත්‍රිය උදාවී තිබුණේය. පොලිස් කණ්ඩායම පොතාන නිවාස 50 ප්‍රදේශයේ හේනක තිබූ අඩක් ඉදිකළ නිවස වටලනු ලැබීය. ඒ වනවිට නිවසේ සිටියේ ලහිරු සහ නුවන් තාරකගේ බිරිඳ පමණි. පොලිස් කණ්ඩායම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ.
කෝ තාරක මිනිහා කොහෙද ගියේ… පොලිස් නිලධාරීන් තාරකගේ බිරිඳගෙන් ප්‍රශ්න කළේය.
එයා රෑට කෑම ගේන්න එළියට ගියා. බිරිඳ කීවාය. නිවසේ තිබී රුපියල් ලක්ෂ දොළහමාරක මුදල්, අයිස් මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ කීපයක් පොලිසිය භාරයට ගත්තේය. ඒ වනවිට රාත්‍රි ආහාර ගෙන ඒමට පිටතට ගිය නුවන් තාරක හේනේ පිහිටි නිවස වෙත ආවේය. රැක සිටි පොලිස් නිලධාරින් එකවරම නුවන් තාරක අල්ලා ගැනීමට ඔහු වෙත පැන්නේය. කෙසඟ සිරුරක් හිමිවූවකු නුවන් තාරක විශාල ශරීර ශක්තියක් ඇති තරුණයකු විය.
ඔහු එහි සිටි පොලිස් නිලධාරීන් සමග පොරබැදුවේය. පොලිසිය නුවන් තාරකට වෙඩි තැබීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණේය. එහෙත් පොලිස් නිලධාරින්ට අවශ්‍ය වුණේ කෙසේ හෝ නුවන් තාරක ජීවග්රහයෙන් අල්ලා ගැනීමය. ගණ අන්ධකාරයේ පොලිස් නිලධාරීන් සමග පොරබැදූ තාරක ඔවුන්ගෙන් මිදී පලා ගියේය.
පලාගිය සැකකරු සෙවීමට පොලිස් විශේෂ කාර්ය බළකාය පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කැකිරාව පොතාන රිටිගල වනාන්තර ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙහෙයුම් ක්‍රියාත්මක කළහ. ඒ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි අංශය ඒකාබද්ධව වෙනම විමර්ශනයක් ක්‍රියාත්මක කරමින් සිටියහ. AI තාක්ෂණය හරහා නුවන් තාරකගේ ඡායාරූප විවිධ ක්‍රමවලට නිර්මාණය කර ඒවා විමර්ශන නිලධාරීන්ට ලබාදීමට කටයුතු කර තිබුණේය. ඒ නුවන් තාරක තම ස්වරූපය වෙනස් කරගෙන යන බවට ලැබුණු තොරතුරු නිසාය. එමෙන්ම නුවන් තාරක පාවිච්චි කරන ජංගම දුරකථනය ක්‍රියාත්මක වන ස්ථානය හඳුනාගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත් වූහ. පසුදා දහවල් වනවිට නුවන් තාරක පිටකොටුවට පැමිණ සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගත්තේ ඔහු පාවිච්චි කරන ජංගම දුරකථනය හරහාය. ඒ අනුව පිටකොටුවේ බස්රථ පරීක්ෂා කිරීමට ද පොලිසිය පියවර ගත්හ.
පිටකොටුවට පැමිණි නුවන් තාරක බොරැල්ල සහශ්‍රපුරයේ නිවසක සිටින බවට රහස් පොලිසිය වෙත තොරතුරු ලැබුණේය. ඒ ඔහු අත තිබූ ජංගම දුරකථන ක්‍රියාත්මක වන ස්ථානය හඳුනාගැනීමෙන් අනතුරුවය. පොලිස් කණ්ඩායමක් සහශ්රපුරය වටලද්දී නුවන් තාරක එම ස්ථානය ද හැර ගොස් සිටියේය. නුවන් තාරක බොරැල්ල සහශ්රපුරයට පැමිණ සිටියේ තම පැරණි මිතුරකු මුණගැසීම සඳහා එහිදී ඔහු සැලුන් එකකට ගොස් තම ස්වරූපය වෙනස් කරගෙන කොණ්ඩය සහ රැවුල කොටට කපාගෙන සිටියේය. මේ අතර නුවන් තාරක මහරගම නාවින්න ප්‍රදේශයේ සිටින බවට තොරතුරක් ලැබුණේය.
රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරින් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මහරගම නාවින්න ප්‍රදේශය වෙත ගොස් සිය විමර්ශන ආරම්භ කළහ. නුවන් තාරකට විමර්ශන නිලධාරීන්ගෙන් බේරී පලායෑම පහසු වුණේ නැත. ඔහු ත්‍රිරෝද රථයක යමින් සිටියදී පොලිස් නිලධාරින්ට කොටු වුණේය. එවරද නුවන් තාරක පොලිස් නිලධාරීන්ගෙන් බේරී පලායෑමට සමත් වූවේය. එහෙත් එවර ඔහුගේ උත්සාහය සාර්ථක වුණේ නැත. මහරගම නාවින්න ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගරාජයක සැඟවී සිටියදී නුවන් තාරක පොලිසියට කොටු වුණේය. ඔහුට කටඋත්තර නැත. අත්අඩංගුවට ගැනීමේදී බඩකට පුරා ගුටිකන්නට ඔහුට සිදුවිය. පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළේය. සියල්ල හෙළිවන්නට විය.
“සර් ඩුබායි ලොක්කා කිව්වා මහරගම නාවින්නේ බස් හෝල්ට් එකක් ළඟ කුණු බක්කියේ ලක්ෂ එකහමාරක් තියෙනවා කියලා මම ඒක ගන්න ආවේ.” වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ඝාතනයේ සියලු තොරතුරු නුවන් තාරක වමාරන්න වුණේය.
මිදිගම ලසා ඝාතනයට සම්බන්ධ මහමොළකාරයන් හැර සෙසු සැකකරුවන් සියලුදෙනා ඒ වනවිට පොලිසියට කොටුවී සිටියහ.
එහෙත් ලසා ඝාතනයට ඕඩර් එක දුන් මිදිගම රුවන් බූස්ස බන්ධනාගාරයේ නිරුපද්‍රිතව සිටියි. ඝාතන සැලසුම මෙහෙය වූ ඩුබායි ලොක්කා ඩුබායි රාජ්‍යයේ සුරසැප විඳිමින් සිටියි.
කුලී ඝාතකයාට කොන්ත්‍රාත් මුදල ලබාදුන් රන් පැටියා නිදැල්ලේය. එහෙත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර පමණක් ජීවතුන් අතර නැත.
පාතාලයට පෙම් බැඳීම නිසා ලසන්ත වික්‍රමසේකරට අකාලයේ දිවිසැරියට සමුදීමට සිදු වුණේ හයහතර නොතේරෙන පුංචි දරුවන් තුන්දෙනකුට පිය සෙනෙහස අහිමි කරමින්ය.
දිවයින




