
පසුගිය කාලය තුළ විවිධ හේතූන් මත මෙරට රාජ්‍ය සේවය අතහැර විදෙස් ගත වූ විශේෂඥ වෛද්‍යවරුන්ට නැවැත සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ ඉල්ලීමක් කරනු ලැබීය.

අමාත්‍යවරයා මෙසේ ඉල්ලා සිටියේ පසුගියදා එක්සත් රාජධානියේ සිදු කළ සංචාරය අතරතුර එරට මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ වෛද්‍යවරුන්ගේ හමුවක් අමතමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ශ්‍රීලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත්, එබැවින් මෙරටින් බිහි වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව මේ අවස්ථාවේ මෙරටට අත්‍යාවශ්‍ය බවද අවධාරණය කරන ලදී. විශේෂයෙන්ම පවතින ආර්ථික හා සමාජ වටපිටාව තුළ විශේෂඥ වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බවත් ඒ සඳහා විශාල කැපකිරීමක් සිදු කළ යුතු බවත් සඳහන් කළ අමාත්‍යවරයා එබැවින් මෙරටින් බිහි වූ විශේෂඥ වෛද්‍යවරුන්ට මේ අවස්ථාවේ සිය සේවාව මව්රටට ලබාදීමේ යුතුකමක් පවතින බවද අවධාරණය කරනු ලැබීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා විවිධ හේතුන් මත පසුගිය කාලයේ විදේශගත වූ ශ්‍රී ලාංකීය විශේෂඥ වෛද්‍යවරුන් නැවත සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් සියලු සේවා පහසුකම් සහිතව නැවත ඔවුන් අදාළ ශ්රේණිවලම පිහිටු වීමට කටයුතු කරන බවත් ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට ක්‍රියා කරන බවත් පැවසීය.
ප්රජාතන්ත්රවාදය සඳහා වු වෙස්ට්මිනිස්ටර් පදනමේ (WFD) ආරාධනයෙන් එක්සත් රාජධානියේ පසුගියදා කළ සංචාරය අතරතුර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙම වෛද්‍ය හමුව සංවිධානය කරනු ලැබීය. මෙම වෛද්‍ය හමුව සඳහා එරට වෙසෙන විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු එම ක්ෂේත්රයේ නිරත විශාල පිරිසක් එක්ව සිටිහ.
ශ්‍රී ලංකා දූත පිරිසට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් සහ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මිහු ඇතුළත් වූහ.




