
ඝාතනයට ලක්වූ වැලිගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති, ලසන්ත වික්රමසේකර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා, සමගි ජන බලවේගය විසින් රසික ප්රියංකර මහතාගේ නම යෝජනා කිරීමට තීරණය කර තිබේ.

නව සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතය.
රසික ප්රියංකර මහතා, ජීවිතක්ෂයට පත් ලසන්ත වික්රමසේකර මහතාගේ දේශපාලන ගමනේ ආරම්භයේ සිටම ඔහු සමඟ එක්ව කටයුතු කළ සමීපතම සගයෙකු ලෙස ප්රකටය.
ඔවුන් දෙදෙනාම එකම අවස්ථාවේ දේශපාලනයට පිවිස, තමන්ට හිමි කොට්ඨාශ ජයග්රහණය කරමින්, ජනතා ආශිර්වාදය මැද සිය දේශපාලන ගමන ආරම්භ කළ බව ප්රදේශවාසීහු පවසති.
සිය සමීපතම මිතුරා සහ සගයා වූ ලසන්ත වික්රමසේකර මහතාගේ අකල් වියෝවෙන් පසු, ඔහුගේ සිහින සහ වැලිගම ජනතාව වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමේ වගකීම තමන් භාරගන්නා බව රසික ප්රියංකර මහතා ප්රකාශ කර ඇති බව වාර්තා වෙයි.
ලසන්ත වික්රමසේකර මහතාට ගෞරවයක් ලෙස, ඔහුගේ අරමුණු ඉටුකිරීම සඳහා නව සභාපතිවරයාට සහයෝගය ලබාදිය යුතු බවට බොහෝ දෙනා අදහස් පළකරමින් සිටිති.




