
පාකිස්තානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බැවින් තරගාවලිය අවසන් වන තෙක් එරට රැඳී සිටින ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් දී තිබේ.

ඉස්ලාමාබාද් නුවරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර එම තත්ත්වය තුළ එරට පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ද දැඩි අවධානයක් යොමුව ඇත.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සමග පෞද්ගලිකවම කතා කළ ජනාධිපතිවරයා තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට සහතික වී තිබේ.
ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා පාකිස්තානයේ ආරක්ෂක ප්‍රධානීන් සමග සාකච්ඡා කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබේ. ඔවුන් නවාතැන් ගන්නා හෝටල්වලට ද ආරක්ෂක කණ්ඩායම් යොදවා ඒ බව තහවුරු කර ඇත.
1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවස්ථාවේ මෙරට පැවති බෝම්බ බිය හේතුවෙන් ඇතැම් රටවල ක්‍රිකට් කණ්ඩායම් ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරද්දි පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ලංකාවට පැමිණ දැක්වූ සහය සිහිපත් කරන ජනාධිපතිවරයා ඊට කෘතගුණ දැක්වීමක් ලෙස ද මෙම තරගාවලිය අවසන් වන තෙක් එරට රැඳී සිටින ලෙස ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් දී තිබේ.
එසේම ඒ කාලය තුළ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම එරට රජය සමග එක්ව ගන්නා බවට ද ජනාධිපතිවරයා සහතික වී තිබේ.
මේ අතර ක්‍රීඩකයින් නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීමට ඉල්ලා ඇති බව කණ්ඩායම් කළමනාකාරිත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැන්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමග අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කර තිබේ.
ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අදාළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපරිම ආරක්ෂාව තහවුරු කිරීමටත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිදුකළ ඉල්ලීම් කිහිපයකට එකඟතාව පළකිරීමටත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කළ බවය.
අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට සැලසුම් කළ පරිදි තරගාවලියට සහභාගිවන ලෙස දැන්වූ බවද අදාළ නිවේදනයේ සඳහන් ය.
එවන් පසුබිමක කිසියම් ක්‍රීඩකයෙක් හෝ පුහුණුකරුවෙක් නැවත දිවයිනට පැමිණියොත් ඒ සඳහා අතිරේක ක්‍රීඩකයින් තරගාවලියට යොමු කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී තිබුණි.
එමෙන්ම එලෙස යම් ක්‍රීඩකයෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔහුට වසර දෙකකට වැඩි කාලයක් සඳහා ක්‍රිකට් තහනම් කිරීමටද ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.




