
අස්වැසුම ප්‍රතිලාභින් 43,703දෙනකුට බැංකු ගිණුම් නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ හිමිකම් ප්රතිලාභ ඉකුත් වර්ෂයේ දී (2024) ඔවුන්ට ලැබී නොතිබූ බවට අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් සුදුසුකම්ලත් ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ හිමිකම් ප්රතිලාභ ලබා ගැනීමට නොහැකිවීමට හෝ අහිමිවීමට ඉඩ ඇති බව විගණනය මගින් අනාවරණය කර ඇත. මෙම ගැටලුව විසඳීම සඳහා සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් 2025 වර්ෂයේ ජුනි මස අවසන් වන විටත් සුදුසු යාන්ත්‍රණයක් ස්ථාපිත කර ක්‍රියාත්මක කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.
අස්වැසුම වැඩසටහනට අනුකූල වන පරිදි සුදුසුකම්ලත් පුද්ගලයන්ට ප්රතිලාභ සැලසීමට කටයුතු කළ යුතු බව ද විගණනය මගින් නිර්දේශ කර ඇත. බැංකු ගිණුම් විවෘත නොකළ ප්‍රතිලාභීන්ට ගිණුම් විවෘත කරවීම සඳහා අවස්ථා කිහිපයකදීම පෞද්ගලිකව දැනුවත් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් විගණනයට සඳහන් කර ඇත. අයැදුම්පත් ද්විකරණයවීම, ප්රතිලාභ ප්‍රතික්ෂේප කිරීම, ප්‍රතිලාභී පවුල් විදේශගතවීම වැනි විවිධ හේතු මත ගිණුම් විවෘත නොකරන පිරිසක් ද මේ අතර සිටින බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විගණනයට සඳහන් කර ඇත.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.




