
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පාලන සමයේදී මෙරටට ගෙන්වන ලද Prednisolone අක්ෂි දියරය භාවිතය හේතුවෙන් ඇස් ආබාධිත තත්ත්වයට පත් වූ රෝගීන් පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් නව ආන්දෝලනයක් හටගෙන තිබේ. දිවයින පුරා රෝගීන් 150කට ආසන්න පිරිසක් මෙම ඖෂධය නිසා සදාකාලික හෝ තාවකාලික ආබාධිත තත්ත්වයට පත් වූ බවට චෝදනා කරන අතර, වරින් වර ඔවුන් තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පැමිණිලි හා උද්ඝෝෂණ පවා පවත්වන ලදී.

රෝගීන්ට අසාධාරණයක්: ආබාධයට හේතුව ඖෂධය නොවන බවට ලිපියක්
මෙම සිද්ධියෙන් ඇස් ආබාධ තත්ත්වයට පත් වූ රෝගීන් අතරින් 17 දෙනෙකුට පමණක් වර්තමාන රජය විසින් වන්දි ප්රදානය කිරීමට කටයුතු කර තිබීම නිසා ඉතිරි රෝගීන් තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයට හා ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත. මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව යැයි සඳහන් කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. වික්‍රමසිංහ මහතා විසින් 2025/11/13 දිනැතිව ගම්පහ ප්‍රදේශයේ පදිංචි ලෙනින් නිරෝෂන් මහතා වෙත ලිපියක් නිකුත් කර තිබේ. එම ලිපියේ සඳහන් වන්නේ, ඉහත කී අක්ෂි දියරය භාවිතා කිරීම ඔහුගේ දෘෂ්ටි ආබාධයට හේතුවක් නොවන බවයි.
වෛද්‍ය වාර්තා තිබියදී ලිපිය නිකුත් කිරීම ගැන ඥාතීන් විමතියට
අදාළ ලිපිය නිකුත් කිරීම සම්බන්ධයෙන් රෝගියා සහ ඔහුගේ ඥාතීන් දැඩි ලෙස විමතියට පත්වී සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ, කොළඹ ජාතික අක්ෂි රෝහලේදී අදාළ ඖෂධය භාවිතා කිරීමෙන් අනතුරුව තම ඇස් දෙකම ආබාධ තත්ත්වයට පත් වූ බවට වෛද්‍ය වාර්තා ඇති බවයි. ඊට අමතරව, තමන්ගේ පෞද්ගලික වියදමින් ඉන්දියාවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවක මෙවැනි ලිපියක් නිකුත් කිරීම කනගාටුදායක බවද ඥාතීහු පවසති.
ඖෂධ සමාගමට එරෙහිව නීතිමය පියවර නොගැනීම ගැටලු සහගතයි – වෛද්‍යවරුන්ගේ සංධානය
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, අදාළ Prednisolone අක්ෂි දියරය ගෙනෙන ලද සමාගමට එරෙහිව මෙතෙක් අධිකරණය හමුවේ නීත්‍යානුකූල පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්ව ඇති බවයි.
අවසන් වරට නිකුත් වූ විගණන වාර්තාවෙන්ද මෙම කරුණ තහවුරු වී ඇත.
මෙම සමාගමට එරෙහිව අධිකරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන මැලිකම බරපතල ප්‍රශ්නයක් බවද ඔහු සඳහන් කළේය.
ඇස් ආබාධ තත්ත්වයට පත් වූ අනෙකුත් රෝගීන් වෙනුවෙන් තමන් අධිකරණය හමුවේ සිවිල් නඩුවක් ගොනු කිරීමට අපේක්ෂා කරන බවද වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.




