
කුමන ව්යසනයකවත් උදුරා ගන්න බැරි මනුෂ්‍යත්වයක් අපේ ජනතාව තුළ ඇති බවත් රට යළි ගොඩනැඟීම සඳහා අපට ඇති එකම ශක්තිය ජනතාවගේ ධෛර්යය සහ අභිලාෂයන් ඔස්සේ වේදනාවේ කඳුළු මතින් රටේ ජීවිත යළි ආලෝකය කරා ගෙන යාම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. අයහපත් කාලගුණ ව්‍යසනයෙන් ජීවිත අහිමි වූ අප මාතෘභූමියේ සියලු ජීවිත වෙනුවෙන් තමාගේත්, රජයේත් සංවේගය ප්‍රකාශ කරන බවත් විපතට පත්වූ සියලු ජනතාව සමග තමාත්, රජයත් නිරතුරුවම සිටින බවත් අවධාරණය කළේය.

නිවසක් අහිමි වූ අයට නිවස තනාගැනීමට රුපියල් ලක්ෂ 50ක් ද, ඉඩමක් මිලදී ගැනීමට තවත් ලක්ෂ 50ක් ද ලබාදෙන බවද පදිංචිය සඳහා ආපදා ස්ථානවලින් බැහැරව රජයේ ඉඩම් ලබාදීමට තමා හැම ප්‍රදේශයකම අදාළ නිලධාරීන් සමග සොයා බලා කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීය.
මේ ව්‍යසනයේදී පුංචි දරුවන් තම කැටයට එකතු කළ පුංචි මුදල පවා සහන කටයුතු වෙනුවෙන් ලබාදීමට කටයුතු කළ බවත් ඇතැමුන් තමන්ට තිබෙන එකම වත්කම කුමක්ද එය පවා විපතට පත්වූවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට දක්වන හෘදයාංගම බව දුටු බවත් ඊයේ අවධාරණය කළ ජනාධිපතිවරයා මියගිය අයගේ ජීවිත මුදලින් තක්සේරු කිරීමට නොහැකි වුවත් එක් අයකු වෙනුවෙන් ලක්ෂ 10ක් ලබාදීමටත් එය ළඟම ඥාතියවරයකුට ලබාගත හැකි වන බව අවධාරණය කළේය.
අර්ධ වශයෙන් හානි වූ නිවසක් යළි පිළිසකර කරගැනීමට ලක්ෂ 25 දක්වා රජයෙන් අනුග්‍රහයක් ලබාදෙන බවද ජනාධිපතිවරයා කීවේය.
ආපදාව එන්න දී ආණ්ඩුව බලාසිටි බව කියන පාර්ශවයන්ට කිය කියා ඉන්නේ නැතුව ඊට එරෙහිව නඩු පැවරීමට හැකි බවත් ඊට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් බවත් ජනාධිපතිවරයා මෙහිදී කීවේය.
ඒ පිළිබඳව අවධානය යොමු කරනවාට වඩා තමන් ප්‍රමුඛත්වය ලබාදෙනුයේ වැටුණු ජන ජීවිත යථාවත් කිරීමට බවද හෙතෙම සඳහන් කළේය.
ආපදා තත්ත්වය සඳහා දැනටමත් අවශ්‍ය මුදල් වෙන්කර ඇති බවත් අනාගතයේදී ඇති වෙන මුදල් අවශ්‍යතා වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවකින් මුදල් වෙන් කිරීමට ලබන 19දා පාර්ලිමේන්තුව කැඳවීමට සිදුවන බවත් පැවසූ ජනාධිපතිවරයා ඊට විපක්ෂයේ සියලු දෙනා ද සහයෝගය දෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද කීවේය.
සිය අපේක්ෂාව ජීවත් වන අයට තිබෙන රටට වඩා සුදුසු උත්තම ගුණාංග පිරි රාජ්‍යයක් බිහිකිරීම බවද ජනාධිපතිවරයා කීය.
ලබන වසර සඳහා වන අයවැය යෝජනාවලියේ අවසන් දින මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශ වැය ශීර්ෂයේ පිළිතුරු කතාව සහ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.




