
ප්‍රමිතියෙන් තොර එන්නත් තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 14කට අධික මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 12 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩු විභාගයට සූදානම් වීමට විත්තියට ප්‍රමාණවත් කාලයක් ලබානොදීමෙන් විත්තියේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි පවසමින් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු එම නඩුවෙන් ඉවත් වී තිබේ.

12 වැනි විත්තිකාර ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර හා දෙවන විත්තිකාර වෛi සැපයුම් අංශයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛi කපිල වික්‍රමනායක යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි හා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන මහත්වරුන් එලෙස නඩු කටයුත්තෙන් ඉවත් වී ඇත.
පසුගිය 26 වැනිදා එම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙරවරු 9.30ට කැඳවා පස්වරු 4.45 පමණ වනතුරු පැවැති අතර එහිදී පැමිණිල්ල විසින් එම නඩු කටයුත්තට පාදක වූ ලේඛන රැසක් විත්තියට ලබාදෙන ලදී.
එම ලේඛන හා මින් පෙර ලබාදී ඇති පිටු දහස් ගණනකින් සමන්විත සාක්ෂි සම්පිණ්ඩන, පැමිණිල්ලේ සාක්ෂි ලේඛන පිටපත් ඇතුළු ලේඛන හා ඒවා සසඳා බලා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට හා නඩු විභාගයට සූදානම් වීමට හා සියලු ලේඛන ලැබී ඇති දැයි අධිකරණයට ඉඩ දී දින කීපයකින් නඩුව කැඳවන ලෙස නලින් ලද්දුවහෙට්ටි හා සරත් ජයමාන්න යන ජනාධිපති නීතිඥවරුන් ඇතුළු විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. සාධාරණ නඩු විභාගයකට මුහුණදීමට විත්තියට ඇති අයිතිය තහවුරු කිරීම අධිකරණයේ වගකීම බව පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරු එම ඉල්ලීම කළහ. මින් පෙර තමන් භාරගත් විශේෂ නඩු කීපයක් ද පසු දින (27දා) අධිකරණ හමුවේදී කැඳවීමට නියමිත බව පවසමින් විත්තියේ නීතිඥවරු එම ඉල්ලීම කළහ. නඩු කටයුතු සාධාරණ අයුරින් ඉදිරියට පවත්වාගෙන යා හැක්කේ අධිකරණ විනිසුරුවරුන්ගේ මෙන්ම විත්තිය ඇතුළු සෙසු පාර්ශ්ව නියෝජනය කරන නීතිඥවරුන්ගේ ද එකඟතාව මත දින නියම කිරීමෙන් බවට විත්තියේ නීතිඥවරුන් පිරිසක් කළ එම ඉල්ලීම නොතැකූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල පසු දින 27 වැනිදා පෙරවරු 11.00ට එම නඩුව කැඳවීමට දින නියම කළේය.
ඒ අනුව තමන්ට සිය සේවාදායකයා වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට ඉඩ අහිමි වී ඇති බව පැවසූ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා එම නඩුවෙන් ඉවත්ව තිබූ අතර එම කරුණුම පවසා ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ද පසුගිය 3 වැනිදා නඩුවෙන් ඉවත් වී තිබිණි.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී එම නඩුව කැඳවිණි.




