
ආපදාවෙන් විපතට පත් හා සමාජ මාධ්‍ය, රූපවාහිනි ප්රවෘත්ති තුළින් එම ආපදා තත්ත්වයන් දුටු දරුවන් දෙසැම්බර් 16 වැනිදා පාසල් ආවිට ගුරුවරුන් සංවේදීව කටයුතු කරන්නැයි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (10දා) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී ඉල්ලා සිටියාය.

ආපදා තත්ත්වයෙන් පසු පාසලට පැමිණෙන දරුවන් සියලුදෙනා ඉතා ආදරයෙන් පිළිගන්නා ලෙසත්, ඔවුන්ට බැණ නොවදින ලෙසත්, කේන්ති නොගන්නා ලෙසත් ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියාය.
එසේම මානසික සෞඛ්‍ය සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් මෙම ආපදා තත්ත්වයට ගොදුරුව සායන පොත නැතිවී තිබුණ ද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පැමිණ ප්‍රතිකාර ලබාගන්නැයි ද ඇය ඉල්ලා සිටියාය.
තවදුරටත් කතා කළ ඇය මෙසේද කීවාය.
“ආපදා තත්ත්වයෙන් පසු පාසල් 16 වැනිදා විවෘත වෙනවා. ඒ දරුවන්ට සුදුසු ඇඳුමකින් පාසලට එන්න අවස්ථාව දීම වැදගත්. පාසලට ආපු දරුවන් කියන දේවල් තියෙන්න පුළුවන්. තව මේ ආපදාව ගැන ඔවුන් නොකියන දේවල් තියෙන්න පුළුවන්. මේ හැම දේකටම ගුරුවරුන් විදිහට සංවේදී වෙන්න. ඒ සමහර දරුවන්ගේ දෙමාපියන් මේ ව්‍යසනයෙන් මිය ගිහින් වෙන්න පුළුවන්. සහෝදර සහෝදරියන්, නෑදෑයන් මියගිහින් වෙන්න පුළුවන්. දරුවන්ව හැමවිටම සතුටින් තියන්න.
“අනිත් එක මේ ව්‍යසනය නිසා අතරමග නැවතුණු අ.පො.ස. උසස් පෙළ දරුවන්ව දිරිගන්වන්න. මේ උසස් පෙළ විභාගයෙන් ඔබ්බට දරුවන්ට ජීවිතය දිනන්න මග පෙන්වමු. විභාගය ඉදිරි දිනවල පැවැත්වෙනවා. ඒකට දැන් සූදානම් වෙන්න කියලා ඒ අයට කියන්න.
අනිත් එක මානසික රෝගවලට අදාළව ඔබ ප්‍රතිකාර ගන්න කෙනෙක් නම් අඛණ්ඩවම ප්‍රතිකාර ගන්න ඕන. මේ ආපදා තත්ත්වය නිසා ඔබට ඒ බෙහෙත් මගහැරුණා නම් මානසික සෞඛ්‍ය විද්‍යායතනයට ඇවිත් ඒ බෙහෙත් ගන්න. ආපදාවෙන් ඔබේ සායන පොත නැති වුණා කියලා ඉන්න එපා සායන පොත නැතත් ඔබ එන්න. අපි ඕගොල්ලන්ට ප්‍රතිකාර කරනවා.
ආපදා තත්ත්වය තුළ මාධ්‍ය රාජකාරි කටයුතුවල මාධ්‍යවේදීන් එකදිගට වැඩ කළා. ඔවුනුත් යම් මානසික පීඩනවලට ලක්විය හැකියි. මොකද අර ආපදා සිදුවීම් ඒ දිගටම දැකලා. ඒ නිසා එයින් මිදෙන්න ඒ අය විවේකය ලබාගැනීම වැදගත්.
යම් ගැටලුවක් තියෙනවා නම් 1926 ට කතා කරන්න.
මෙහිදී කතා කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ යමුනා එල්ලාවල මහත්මිය මෙසේ කීවාය.
“ආපදාවට පත්වූ සියලු දෙනාට මානසික සෞඛ්‍ය ප්‍රථමාධාර ලබාදීම වැදගත්. මීට අමතරව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යෑම වැදගත්. ආපදාවට ලක්වූ අය වගේම ආපදාවට ලක් නොවූ අය සමාජ මාධ්‍ය තුළින් හා රූපවාහිනී තුළින් ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් යන රූපරාමු බලන්න එපා.




