
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වී ගලා බසින ජල මූලාශ්රවල පෙර ගමන් මාර්ග වෙනස් වී දැඩි පාරිසරික හානියක් රටට අත්වී තිබෙන බව ග්රැපෙක් ශ්‍රී ලංකා පරිසර පදනමේ අධ්යක්ෂ පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතා පැවැසීය.

මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වී ගලා බසින මහවැලි, කළු, කැලණි, වලවේ ඇතුළු ප්‍රධාන ගංගා මහවැලි ජලාශ, ප්‍රධාන සහ මධ්‍ය ජලාශ වාන් ජලය මුදා හැරෙන ගංගා ඇතුළු ජල මූලාශ්‍ර ස්වාරක්ෂක කඳු පන්තියෙන් ආරම්භ වී ප්‍රධාන ගංගා සහ ජල මූලාශ්‍රවලට එක් වන ඇළදොල, දියඇලි රැසක ගමන් මාර්ග වෙනස් වී තිබෙන බව අධ්යක්ෂවරයා පැවැසීය.
සුළි කුණාටුවත් සමග කඳුකරයේ සිදු වූ නාය යෑම්, පස් කඳු, ගල් කඳු කඩා වැටීම, ගිලා බැසීම් සමග ජල මාර්ග රැසක ගමන් මාර්ග වෙනස් වී ඇත. වාර්ෂිකව මධ්‍යම කඳුකරයට මිලි මීටර් 2000 ක වර්ෂාපතනයක් ලැබෙන බවත් පැයකදී මිලිමීටර් 500 ඉක්මවූ වර්ෂාපතනයක් පතිතවීමෙන් දරාගත නොහැකි ජල කඳක් ජල මූලාශ්‍රවලට එක්වීම ගමන් මාර්ග වෙනස්වීමට බලපෑ බව ජයතිස්ස මහතා පැවැසීය.
1953 වසරේ සිට බලාත්මක මධ්‍යම කඳුකරයේ පාංශු සංරක්ෂණ පනත බලාත්මක නොකිරීම වර්තමානයේ පවතින ව්‍යසනයට බලපෑමක් බවත් ඊට එම පනතේ විධායක බලතල හිමි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරුන් වගකිව යුතු බවටත් හෙතෙම චෝදනා කළේය.
එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු නොකිරීම වර්තමානයේ මුහුණ දුන් ව්‍යසනයට ප්‍රධාන සාධකයක් බව පෙන්වා දුන් අධ්යක්ෂවරයා පනතේ විධිවිධානවලට අනුව මධ්‍යම කඳුකරයේ අංශක 60ක ඉහළ බෑවුම්වල ඉදිකිරීම්, වගාව සඳහා අවසර නොමැති බවත් රක්ෂිත ලෙස පවත්වාගෙන යායුතු බවත් පැවැසීය.
දිවයින




