
මත්පැන් පානය කළ බීමත් රියැදුරන් පරීක්ෂා කිරීම සඳහා දිවයිනේ බොහෝ පොලිස් ස්ථානවල පරීක්ෂණ නළ නොමැති බවට වාර්තා වේ.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේදී හා අනතුරු සිදු කළ අවස්ථාවලදී ඔවුන් බීමත්ව සිටීදැයි රථවාහන නිලධාරීන් විසින් එම රියදුරා පොලිස් ස්ථානයවෙත රැගෙනවිත් පරීක්ෂණ නළ (බැලුන් ලෙස හඳුන්වන) භාවිතා කර එම අවස්ථාවේම පරීක්ෂා කර බීමත්ව සිටින බවට තහවුරු වුවහොත් එම බැලුම සීල්කර අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලබයි.
බොහෝ පොලිස් ස්ථානවල මෙම බැලුන් නොමැතිවීම නිසා බීමත් බවට සැකකරන රියැදුරා රජයේ රෝහලක වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමට සිදුව තිබේ. වෛද්‍ය වාර්තාව මගින් රුධිරයේ අඩංගු මද්‍යසාර ප්‍රමාණය සටහන් නොකර ගඳ වහනය වන බවට ඇතැම් විට වාර්තා ලබාදෙන බවත් එහිදී එම වාර්තා නීතිය හමුවේ අභියෝගයට ලක්විය හැකි බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සපුගස්කන්ද පොලිස් වසම තුළ හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී ඔහු බීමත්ව සිටියා ද යන්න එම අවස්ථාවේ පරීක්ෂා කිරීමට එම පොලිසියේ ද පරීක්ෂණ නළ නොතිබූ බව එම පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය. එම නිසා රන්වල මහතා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කර ඇති බවද ඔහු කීය.
මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ සැපයුම් අංශයේ නිලධාරියකුගෙන් කළ විමසීමේදී කියා සිටියේ මේ වනවිට ඇතැම් පොලිස් ස්ථානවල බීමත් රියැදුරන් පරීක්ෂා කරන නළ ඇති බවත් තවත් නළ තොගයක් අදාළ සැපයුම්කරු විසින් ආනයනය කර තිබෙන බවත් ය. එම නළ තොගය ඉදිරියේදී ලැබීමට නියමිත බවද ඔහු තවදුරටත් පැවසීය.




