
පාතාල අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපයාගත් රුපියල් අනූදෙකෝටි හැටපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් දේපළ සහ මුදල් මේ වසරේදී (2025) රජයට පවරා ගැනීමට කටයුතු කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිය ජාවාරම් හරහා අනීතික අන්දමින් උපයාගත් මුදල්වලින් මිලදී ගත් දේපොළ මේ ආකාරයට රජයට පවරා ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා ‘දිවයින’ට පැවැසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තිබී අත්අඩංගුවට ගත් රුපියල් හාර කෝටි පනස් හත් ලක්ෂ හැත්තෑ හතර දහසක් වටිනා රන් පවුම් 204ක් රාජසන්තක කිරීමට කටයුතු කර ඇත.
ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් හත්කෝටි තුන් ලක්ෂයක් වටිනා නවීන පන්නයේ වාහන 11 ක් ද රාජසන්තක කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මිලදී ගෙන තිබූ රුපියල් හතළිස් හතර කෝටි විසිපන් ලක්ෂ විසිනව දහසක් වටිනා නිවාස 14ක් සහ ඉඩම් ද රජයට පවරාගෙන ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තිබී සොයාගත් රුපියල් දාහතර ලක්ෂ දහඅට දහසක මුදල් ද රාජසන්තක කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපයාගත් රුපියල් තිස්කෝටි හැටහතර ලක්ෂ හතළිස් පන් දහසක් සහ බෙහෙත්, වෙළෙඳසල්, කඩ කාමර, ගොඩනැඟිලි, බැංකු ගිණුම් ද රාජසන්තක කිරීමට කටයුතු කර ඇත.
මෙම සියලුම දේපොළ රාජසන්තක කර ඒවා රජයට පවරා දීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවද වුට්ලර් මහතා කියා සිටියේය.
මේ අතර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා නීත්‍යනුකූල නොවන අන්දමින් මුදල් දේපොළ උපයා ගැනීම නිෂ්ඵල කාර්යයක් බවත් ඒ සියලු වත්කම් පොලිස් භාරයට ගෙන ඒවා රාජසන්තක කිරීමට කටයුතු කරන බවත්ය.




