
ආර්ථිකය කඩාවැටෙන බව කියමින් ජනතාව බිය වැද්දීමේ පහත් නින්දිත උත්සාහයක විපක්ෂයේ කිහිප දෙනකු නිරත වන නමුත් ශක්තිමත් ආර්ථිකයක් තුළ රට ඉදිරියට යන අතරේ වැටිච්ච තැනින් ඊටත් වඩා ශක්තිමත්ව ඉදිරියට යෑමේ ධෛර්යය රටට හා ජනතාවට තිබෙන බවත් විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් මහතා ඊයේ (18 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පෙරවරුවේ රැස්වූ අතර එහිදී පැවති අයහපත් කාලගුණ බලපෑමෙන් ඇතිවූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව ආණ්ඩු පක්ෂය ගෙන ආ කල්තැබීමේ විවාදයකදී ඇමැතිවරයා මේ බව කීය.
කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් කතා කළ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී මංජුල සූරවීරආරච්චි (ජාජබ) – මේ රට නැවත ගොඩනැඟීම වෙනුවෙන් සියලු දෙනා එක්වුණා. සියලු සම්බන්ධීකරණ මාධ්‍ය බිඳ වැටී තිබියදී රජයේ නිලධාරින් ලෙසත් තනි තනි පුද්ගලයන් ලෙසත් කරන්න පුළුවන් උපරිම දේ කරමින් කෙටි කලකින් සම්බන්ධීකරණය කරගන්න හැකිවුණා.
නුවරඑළිය දිස්ත්‍රික්කයට වැඩිම පීඩාවක් ඇතිවුණා.
නායගියා. කළුතරින් අපට විශාල ශ්‍රම මෙහෙයුමක් ආවා. රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව ඇතුළු පිරිස මී මැසි කැලක් මෙන් එකතු වී ජනතාව වෙනුවෙන් කැපවුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස –
අප රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය අති දුර්වල බවත් මේ යාන්ත්‍රණය වෙනස් කර අලුත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. ඒ සඳහා ව්‍යසන කළමනාකරණ පනත වෙනස් කර ශක්තිමත් මධ්‍ය යාන්ත්‍රණයක් තුළින් ආයතන ඇතිකර බිම් මට්ටමට විහිදී යන කාර්යක්ෂම යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුයි. අද වනවිට ආපදා කළමනාකරණ ක්ෂේත්රය කටයුතු කරන්නේ සම්බන්ධීකාරක ආයතනයක් ලෙස නිසා එය ප්‍රමාණවත් නෑ. ආපදාවට සෘජුවම මුහුණ දිය හැකි ශක්තිමත් ආයතනවලින් සමන්විත ආපදා කළමනාකරණ ව්‍යුහයක් ඇතිකර වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කළ යුතුයි.
එසේම ආපදා දත්ත නොමැති නිසා දත්ත කේන්ද්‍රීයව විශේෂයෙන් සිතියම්ගත කිරීම් දත්ත මත කළ යුතුයි. අලුතින්ම අප රටේ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදුකර දරිද්‍රතා රේඛාවට එල්ල වූ බලපෑම ගැන සිතිය යුතුයි. මේ කරුණු විද්‍යාත්මකව ක්‍රියාත්මක කළ යුතුයි.
අවදානම් ප්‍රදේශවල නැවත පදිංචි කිරීම ගැන කතා කරන විට බොහෝ පැතිවල කඳවුරු ඉවත් කර හිටපු තැන්වලට අවදානම් නොතකා නැවත ජනතාව යොමු කරනවා. මාතලේ දිස්ත්‍රික්කයේ උඩුගම කන්ද නායගිය පසු එම ජනතාව අලකොලමඩ විද්‍යාලයේ සිටියත් නැවතත් අවදානම තිබියදී ඔවුන් ගම්වලට යොමු කර තියෙනවා.
එසේම මිනිසා විසින්ම නිර්මාණය කළ මහා ඛේදවාචක නිසා බරපතළ නායයෑම් සිදුවූ බවත් දොඩම්ගස්ලන්ද ඉකිරිවත්ත බල ප්‍රදේශයේ ගොම්මුන්නා කඳු පන්තියේ තිබූ ගල් කොරිවලට ජනතාව විරුද්ධ වුවත් අද ඒ ගල්කොරි නිසා නායගිය බව ජනතාව කියනවා.
අද වනවිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට මාධ්‍ය තහනම් වෙලා. කාර්යාලයට සීමා කර තියෙනවා. මේවා සැඟවීම නොකළ යුතුයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කටවල් වසා සත්‍ය වසං නොකළ යුතුයි.
මේ කුණාටුවට මුහුණ දුන් ජනතාවට විශාල බලපෑමක් වූ බවත් එය ඔවුන්ගේ මානසිකත්වයට බලපෑ ඇති නිසා සෞඛ්‍ය අංශ විශේෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි. ඊට අමතරව මේ ව්‍යසනය තුළ රජය අයිඑම්එෆ් එකෙන් ඇ. ඩොලර් මිලියන 200ක් ඉල්ලා සිටිනවා. මේ තත්ත්වය ගැන දැනුවත් කර අයි.එම්.එෆ්. එක සමග කතාකර මේ ගිවිසුම වෙනස් කරන ලෙසට ඉල්ලා සිටිනවා.
නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන –
පාරවල්වලට වැඩිම හානිය වුණා. කිලෝමීටර් 1450ක් ඒ හා බී මාර්ග සුළි කුණාටුවෙන් විනාශ වුණා. මෙයින් කිලෝමීටර් 723ක් මධ්‍යම පළාතේ පාරවල්. මේ වනවිට පාරවල් ප්‍රති නිර්මාණය කරන්නේ කෙසේද කියලා සැලසුම් කරලා තියෙන්නේ. මේ සඳහා රුපියල් මිලියන 68944ක් වැයවන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
පාලම්වලට හානිවුණා. පාලම් 70ක් හානියට පත්වුණා. ප්‍රධාන පාලම් 17ක් හානිවුණා. රුපියල් බිලියන 6කට වඩා මේ පාලම් සඳහා වැය වෙනවා. මාර්ග පද්ධතියට පමණක් වූ හානිය රුපියල් බිලියන 75ක්. මෙය සම්පූර්ණයෙන්ම ආවරණය කරලා කඩාවැටීම් අවම කිරීම ඇතුළු කටයුතුවලට දළ වශයෙන් රුපියල් බිලියන 190ක මුදලක් වැය වෙනවා. මාර්ග පද්ධතිය යථාවත් කරන්න.
මහනුවර මාර්ග 102ක් අවහිර වුණා. මේ වනවිට මාර්ග 98ක් ප්‍රවාහනයට විවෘත කළා. මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග 37ම විවෘත කරන්න හැකිවුණා.
දුම්රිය දෙපාර්තමේන්තුවටත් වැඩි හානියක් සිදුවුණා. දුම්රිය මාර්ග නායයෑම් හා ගල් පෙරළීම් 91ක් වාර්තා වුණා. බෝක්කු පාලම් 38ක් කඩාවැටුණා. ත්‍රිකුණාමලය දක්වා දුම්රිය මාර්ගය විවෘත කර ගැනීමට හැකිවුණා.
මේ ව්‍යසනයට සාර්ථකව මුහුණදීමට අපට හැකියාව ලැබුණේ දරා ගැනීමේ හැකියාව තිබුණු නිසයි. දේශපාලන භීෂණයකට වරක් අපේ පක්ෂය අනුගත කරන්න උත්සාහ කළා. නමුත් අපට නැගිටීමට හැකිවුණා. විවිධ බාධක මැද අප පක්ෂයට ජයග්‍රහණය කරා යෑමට හැකිවුණා. අමාරුම අවස්ථාවල් අපි ජයගෙන තිබෙනවා. ජනතාව ඒ නිසා අපි ගැන විශ්වාසය තබා තිබෙනවා. මේ කැපවීම මත රට ගොඩදාන්න පුළුවන් කියන විශ්වාසය අපට තිබෙනවා. මේ කෙටි කාලය තුළ ආපදාවෙන් එළියට එන්න ලැබුණේ රාජ්‍ය නිලධාරීන්, ජනතාව හා අප සමග පැවැති දැඩි විශ්වාසය හා කැපවීම නිසයි. ඉදිරි අවුරුද්ද දෙක ඇතුළත සැලසුම් කළ පරිදි මේ වැඩසටහන අවසන් කරන්න පුළුවන්. ආපදාව නිසා අපේ සැලසුම් කළ සංවර්ධන කටයුතු අඩාල වන්නේ නෑ. ඒ ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යනවා.
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක (නප්රජාපෙ) – ආණ්ඩුව බිලියන 500ක් වෙන් කරගන්න. ඉතිහාසයේ ආපු දරුණුම ආපදාව තමයි මේ ආපදාව. අදත් බදුල්ලට වහිනවා. ආණ්ඩුව පොරොන්දු දී ආපු වැඩ නොවෙයි තියෙන වැඩ ටික කරන්න. පළමු ගම්උදාව වූ වියලුව ආසනයේ වාසනාගමට යන්න දැන් බෑ. පාර වැහිලා. ඒවා සුද්දකරන්න. කරන්න විශාල වැඩ කොටසක් ඉතිරි වෙලා තියෙනවා. බිලියන 500ක් නෙවෙයි බිලියන 2000ක පමණ වැඩ කරන්න තියෙනවා. අපි මේක ද්වේශයෙන් බලන්නෙ නෑ.
අද ඩොලර් එක රුපියල් 313යි. සීයා රට භාර දෙනකොට තිබුණෙ 305යි. හිටපු තත්ත්වයෙන්වත් රජය තියාගන්න මේ අයට බැරිවුණා. සමෘද්ධි බැංකු ටිකට විදින්න යනවා. ඒවා ඉවත් කර ප්‍රතිව්‍යුහගතකරලා වෙන ගේමක් දෙන්න හදනවා. ඒවාට අත තියන්න යන්න එපා. අසරණ මිනිස්සුන්ගෙ සල්ලි.
පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ (ශ්‍රීලපොපෙ) – ආණ්ඩුවේ ඇමැතිවරුන් ගංවතුර ආපදාව සාමාන්‍යකරණය කරන්න උත්සාහ කරනවා. පස් කඳුවලට, ජල කඳට යටවෙලා නැතිවූ ජීවිත මීට පෙරත් වෙලා තියෙනවා කියා මතයක් හදන්න උත්සාහ කරනවා. එය සාධාරණ නෑ. අහිංසක මිනිසුන්ගේ ජීවිත නැති වී තිබෙනවා. එයට වගකිවයුතු පුද්ගලයෝ කවුද කියා සෙවිය යුතුයි. ආණ්ඩුව පූර්ව නිගමනයකට ඇවිත් නිලධාරීන්ගේ වැරැද්ද කියලා. ජනාධිපති යටතේ මේ අමාත්‍යාංශය තියෙන්නේ. නිලධාරීන්ගේ ඇඟේ ගහලා මේ ප්‍රශ්නයෙන් බේරෙන්න හදන්න එපා. අපි කමිටුවක් දාල මේක හොයමු.
අදටත් කඳවුරුවල මිනිස්සු ඉන්නවා. ඒ අයට ජීවත් වෙන්න ලක්ෂ ගණන් මුදල් දෙනවා කිව්වා. තවම ඒවා වෙලා නෑ. අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත හානිවෙලා. ගොවි ජනතාවගේ ගොවිබිම් විනාශ වෙලා. ඉතිරි අස්වැන්නවත් විකුණගන්න බැරිවෙලා. වන්දි දෙනවා කිව්වත් තවම මිනිස්සුන්ට දීලා නෑ. නිවාසවලට වන්දි දෙන්නේ කවදාද? දැන් ආපදාව වෙලා මාසයකට ළඟයි. තවම නෑ. ජනාධිපති පාර්ලිමේන්තුවේ ඇවිත් ගියාට සිදුවන්නේ නෑ. කඳවුරුවල ඉන්න ජනතාව නිවෙස්වලට යවන වැඩපිළිවෙළ කුමක්ද?
නියෝජ්‍ය ඇමැති අරූන් හේමචන්ද්‍ර – මෑත ඉතිහාසයේ ඇතිවූ දැවැන්තම ආපදාව ලෙස මෙම ආපදාව හැඳින්විය හැකියි. විදේශ රටවල් ආසියානු රාජ්‍ය නොවන සංවිධාන අපට උපකාර කළා. නමුත් අද විපක්ෂයේ අය කරන්නේ යාන්ත්‍රණය කඩාකප්පල් කරන එක. සුළි කුණාටුව ඇති වුණේ නොවැම්බර් 26, 27 දිනවල. අපි ආපදා රැස්වීම් ඊට පෙර සිටම සිදුකළා. මෙවර අපි බලාපොරොත්තු වූ තත්ත්වයට වඩා දැවැන්ත තත්ත්වයක් ඇතිවුණේ. ආපදා කළමනාකරණය නිසියාකාරව සිදු කළා. ජනතාව මුදවා
ගැනීමට ත්‍රිකුණාමලයේ ගුවන්යානා 5ක් යොදවා ගත්තා. ජනාධිපතිට වෙන්කළ යානා පවා යොදවා ගත්තා.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (සජබ) –
මාර්ග සංවර්ධන අධිකාරියට පමණක් බිලියන 190ක් ඕනෑ. පළාත් බද මාර්ගවල තවම තක්සේරු කර නෑ. මේ මුදල් ප්‍රමාණවත්ද කියා ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන් ණය ගන්න හදනවා. ජල සම්පාදන මණ්ඩලයට බිලියන 6ක් පාඩුයි. එයට මුදල් නෑ. අපට ආරංචි විදිහට යටිතල පහසුකම්වල පාඩුව බිලියන 900ක්. අපි වගේ දුප්පත් රටකට මේවා දරන්න පුළුවන්ද? තවම මේ ආණ්ඩුව රටට වූ හානිය ගැන ජාත්‍යන්තරව පෙන්වන්න වීඩියෝ පටයක් හදලා නෑ.
විදේශ කටයුතු ඇමැති විජිත හේරත් – අනපේක්ෂිත ලෙස ආපදාවකට පත්වුණා. ඒ මොහොතේම රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරන්න මැදිහත් වුණා. සියලු දෙනා එකත වී පාර්ලිමේන්තුවෙන් තීරණ ගත්තා. 28 දාම හදිසි නීතිය ප්‍රකාශයට පත්කලා. තෙරපුම යථා තත්ත්වයට පත් කරන්න මැදිහත් වුණා. පක්ෂ පාට භේදයෙන් තොරව ව්‍යසනයෙන් රට මුදවා ගන්න ජනතාව එක්වුණා. විපතට පත්වූ ජනතාව මුදවා ගැනීම් කළා. ත්‍රිවිධ හමුදාව මැදිහත්ව ඒ සඳහා ක්‍රියාකළා. ආපදාව සිදුවී පැය 6ක් යනවිට ඉන්දියාව ඔවුන්ගේ ගුවන් යානා 2ක් විපතට පත්වූවන් මුදවා ගන්න එක්වුණා. අපේ ගුවන් හමුදාවත් සමග එක්වුණා. රටවල් රැසක් අපට උදව් කළා. ආධාර එව්වා.
ආපදාව මැදත් සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන ගියා. මේ ව්‍යසනයේ මුල් දින 10 තුළ 90,000ක් ලංකාවට ආවා. මේ දක්වා ලක්ෂ 22ක් පැමිණ තිබෙනවා. සංචාරක පැමිණීම හරහා ආදායම බිලියන 3 දක්වා වැඩිවී තියෙනවා.




