
සමස්ත රටේ ප්රජාවත්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වගේම ජාත්‍යන්තර ප්රජාවත් සිදුවූ ආපදාව හමුවේ අපේ රටට මෙතරම් ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වන්නේ අපගේ අදූෂිත ආණ්ඩුකරණය මත තිබෙන දැඩි විශ්වාසය නිසා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූර්ණ ඇස්තමේන්තුව පිළිබඳ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. එහිදී විවාදයට එක්වූ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල –
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුළි කුණාටුව පිළිබඳව දැන්වූ මොහොතේ සිටම රජයක් ලෙස අපි ගත යුතු ක්‍රියාමාර්ග ගත්තා. සමහර මන්ත්‍රීවරු වැරැදි අදහස් ප්‍රකාශ කළා. අවස්ථා 3කදීම දැදුරුඔය ආශ්රිත ජනතාව ඉවත් කරන්න කටයුතු කළා. පොලිසිය වාර්තා කර තියෙනවා ඔවුන් කළ කාර්යයන් පිළිබඳව.
මහා වාරි ජල කළමනාකරණයට ඔවුන් පියවර ගෙන තිබෙනවා. ඒ වගේම පොලිසිය, ත්‍රිවිධ හමුදාව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් 27 දා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කැඳවලා අවශ්‍ය තීන්දු තීරණ ගත්තා.
ආපදාවක් වුණාම මුලින්ම කරන්නේ ඔවුන්ව ගළවා ගැනීමයි. පසුව ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර හා පහසුකම් ලබාදීමයි. ගෙවල් හදන්න සල්ලිදීම කරන්නේ ගංවතුර බැසගිය පසුවයි. විපක්ෂය කියනවා 25000 දෙන්න ප්‍රමාද කළ බවට. ආපදා කළමනාකරණ සභාව 2012 සිට වසර 7ක් රැස්කර තිබුණේ නෑ. අපේ ජනපති පසුගිය අගෝස්තුවේ කැඳවා අවශ්‍ය පියවර ගත්තා. ඒ වගේම පසුගිය දිනක යළි කැඳවූවා. යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. දැන් නැවත ඉදිකිරීම් ඇරැඹුවා. ජාත්‍යන්තරව පවා අද වනවිට මේ ගැන පැසසුම් කරනවා. නිවාස පිළිසකර කිරීමට අවශ්‍ය දත්ත රැස් කරමින් ඉන්නවා.
ලක්ෂ 22ක් පවුල් බලපෑමට ලක්වුණා. ඉන් පවුල් 25000ක් පමණයි කඳවුරුවල ඉන්නේ. අවශ්‍ය පියවර ගන්න බිලියන 17.6ක මුදල් වෙන්කර තිබෙනවා.
මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී විජේරත්න (සජබ) –
මධ්‍යම කඳුකරයේ පැලීම් පුපුරායෑම් 1400කට වඩා සිදුව තිබෙනවා. නක්ල්ස් විශාල ලෙස පුපුරා ගොස් තිබෙනවා. කඳු දියකර ගියා. මේවා පැහැදිලි කර ගැනීමට භූ විද්‍යාඥයන්ට, ගොඩනැඟිලි පරිපාලන ආයතනයට තවම කිසිම සිද්ධාන්තයක් ප්‍රකාශයට පත්කර ගන්න බැරිව වික්ෂිප්ත වෙලා. මෑත ඉතිහාසයේ රට තුළ හා ජාත්‍යන්තරව මෙවැනි සිදුවීමක් සිදුවුණා කියන්න බැරි තරම් ආපදාවක්.
මේ වගේ දේවල් අපි අහලා තිබුණේ ජාතක කතා පොත්වල හින්දු සංස්කෘතියේ. මහ පොළොව පුපුරා ගිය කතා. ජනශ්‍රැතියට අනුව මේවාට කියන්නේ දේව ශාපයක් නැත්නම් දේව කෝපයක් කියලා. මේ සිදුවීම නිසා රට තුළ තුන්බිය ඇතිවී තිබෙනවා. මහ පොළොව පලාගෙන මධ්‍යම කඳුකරය ගියා.
අද කලට වැසි ටික නෑ. අකාලයේ වහිනවා. කෙත්වතු සාර වෙන්නේ නෑ. භීතිය තුරන් වන්නේ නෑ. දහසක් පොරොන්දු දුන්නත් අද කිසිවක් ජනතාවට ලැබී නෑ. ආධාරත් දේශපාලනික වෙලා.
ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චානක මාදුගොඩ (ශ්‍රීලපොපෙ) –
පක්ෂ පාට ජාති ආගම් සියල්ල ඉවතදාලා රටේ ජනතාව ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමට එක්වුණා. දකුණු පළාතේ සමස්ත ප්‍රජාව විශාල වැඩ කොටසක් කළා. රජයකට මෙවැනි ව්‍යසනයක් සියයට සියයක් කළමනාකරණය කරන්න බෑ. නමුත් ව්‍යසනය සිදුවූ මොහොතේ රජය පැත්තෙන් යම් අඩුපාඩු වුණා. පූර්ව අනතුරු හැඟවීම් ගැන රජයේ දුර්වලකම් තිබුණා. ගළවා ගැනීම් මෙහෙයුම් කිරීමට පූර්ව සූදානමක් තිබුණේ නෑ. දැන් තියෙන්නේ ජනතාවට සහන සපයලා ඒ ජීවිත යථාවත් කර ස්ථිර වාසස්ථානවලට යැවීමයි. ආණ්ඩුව දේශපාලන මුහුණුවර ගැනීමේ පියවරයන් තිබෙනවා. සමස්ත රාජ්‍ය නිලධාරීන්ට නිදහසේ කටයුතු කරන්න පුළුවන් වටපිටාවක් ගොඩනඟා දෙන්න.
වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමුපකාර ඇමැති වසන්ත සමරසිංහ –
සුළි කුණාටුව ගැන කල්තියා දැනගෙන පියවර ගත්තේ නෑ කියලා විපක්ෂය තවම කිය කියා ඉන්නවා. රටට ජනතාවට විපතක් වනවිට එය හංගන්න තරම් පිස්සුවක් අපට නෑ. මේ ගැන ආහාර සුරක්ෂිතතා කමිටුවත් කතාවුණා. ඇතිවූ තත්ත්වය විකෘති කරන්න විපක්ෂයට ගන්නා උත්සාහය ගැන කනගාටු වෙනවා.
ලංකාවම එකවර ස්වභාවික උවදුරකට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මුළු රටේම මිනිස්සු පීඩාවට පත්වුණා. මේ සඳහා ගතහැකි උපරිම පියවර ගන්න ක්‍රියා කළා. විපක්ෂය තමන්ට කළ හැකි දේ කරන්නවත් එකතු වෙන්න. තමන් ආණ්ඩු කරපු කාලවල ආපදා ඇතිවූ විට ජනතාවට සහන සැලසූ හැටි විපක්ෂය බැලිය යුතුයි. තැන් තැන්වල අඩුපාඩුකම් තිබිය හැකියි. මේ කාලය තුළ අපි කළ මහා ව්‍යායාමයට දායක වෙන්න විපක්ෂයට ඉඩ තිබුණා.
කැඩීගිය වැව් බැමි අපි හැදුවා. හානිවූ කුඹුරුවලට අපි ආධාර දුන්නා. රට නැවත ගොඩනැඟීම වෙනුවෙන් රජරටට වැව් හැදීම ඉතා වැදගත්.
පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර (සජබ) –
26 වැනිදා කුණාටුව එනකන් ආණ්ඩුව කිසිම පියවරක් ගත්තේ නෑ. 27 දා තමයි ආණ්ඩුව කණ්ඩායම් රැස්කළේ. එදා ආපදා කළමනාකරණ ඇමැතිවරයෙක් හිටියා. අද ජනාධිපතිට තමයි ඒකත් භාර. තමන්ට කරන්න බැරි ආයතන 171ක් එකතු කරගෙන තියෙන නිසයි මේ තත්ත්වයට පත්වුණේ. කාලගුණ විද්‍යා අධ්යක්ෂවරයා තවම මාධ්‍යයට ආවේ නෑ. ඔහුට තර්ජනය කරලා. ජලාශවල දොරටු ටික ටික අරින්න තිබුණා. කළේ නෑ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය –
මේ ව්‍යසනය එක සිද්ධියක් විතරක් නොවෙයි. අදත් මධ්‍යම පළාතේ පාසල් වසා දැම්මේ සාමාන්‍ය වැස්සකින් වුවත් නායයෑමක් වෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණ නිසයි. ජනතාවගේ ආරක්ෂාව, මුදවා ගැනීමට අපි මුලින්ම අවධානය යොමුකළේ. දීර්ඝකාලීනව නැවත එම ප්‍රදේශ ගොඩනඟන්න අපි පියවර ගනිමින් ඉන්නවා. ගම්මාන යළි ඇති කළ යුතු තැන් තිබෙනවා. අපි සැලසුම් සහිතවයි මීට මැදිහත් වී සිටින්නේ. අපේ ආර්ථික කළමනාකරණය සඳහා මුල සිටම දුන් අවධානය නිසා තමයි ආපදා සහන සඳහා මුදල් වෙන්කර ගැනීමට හැකිවුණේ. ආර්ථික ඉලක්කවලට හානි කරගන්නේ නෑ.
පිටරට ශ්‍රී ලාංකිකයන්, ලංකාවේ පරිත්‍යාගශීලීන්, සාමාන්‍ය ජනතාව, ජාත්‍යන්තර ප්‍රජාව සියලු දෙනා විශේෂයෙන් අපට සහාය දුන්නා. ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය නිසයි මේ ලෙසට ආධාර උපකාර කරන්නේ කියලා බොහෝ අය පවසනවා. විශ්වාසය පලුදු නොවන ලෙස නැවත ගොඩනැඟීම් කටයුතු අපි සිදු කරනවා. විශ්වාසය පලුදු වූ අය වගේම ව්‍යසනවලින් දූෂණ කටයුතු කළ අය අපි මේකට එකතු කර නොගෙන ඉමු. ජාත්‍යන්තරය ඉදිරිපත් වී සිටින්නේ අදූෂිත ආණ්ඩුකරණය මත ඇතිවී තිබෙන විශ්වාසය නිසයි.
විනාශ වූ ප්‍රදේශ නිවාස යළි ගොඩ නැඟීමේදී විද්‍යාත්මක පදනමක් මත පරිසර හානිය ගැන හිතලයි සිදු කරන්නේ. ඒවා සියල්ල අවම කරලා සැලසුම් කර තමයි නැවත ගොඩනැඟීම් කරන්නේ. විපක්ෂයෙනුත් අපි ගන්න තීරණවලට සහාය ලැබෙයි කියලා හිතනවා.
(පාර්ලිමේන්තුව 2026 ජනවාරි මස 06 වැනිදා පෙ.ව. 9.30ට යළි රැස්වේ)




