
කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඊට අදාළ ලිපිය නිකුත්කර ඇත. වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනයන්ට අදාළව මෙම ලිපිය නිකුත්කර තිබේ.

වගකිව යුතු තනතුරක් දරන රජයේ වෛද්‍ය නිලධාරියකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත විවිධ ප්‍රකාශ සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන ලද මූලික විමර්ශනයන්ට අනුව පෙනී ගොස් ඇතැයි ද අදාළ ලිපියේ සඳහන් වෙයි.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විධිමත් විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතු අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.




