
නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඒකාබද්ධව දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 200 කට අධික වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

බහුදින ධීවර යාත්‍රාවකින් දකුණු මුහුදු වෙරළ වෙත රැගෙන එමින් තිබූ මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා (23දා) උදේ වරුවේ දීය.
මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 5 දෙනකු ද අත්අඩංගුවට ගත් අතර, ඔවුන් බහුදින ධිවර යාත්‍රාව සමග දික්ඕවිට වරායට රැගෙනවිත් වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය අතර හෙරොයින් කිලෝ 21 ක්ද අයිස් කිලෝග්‍රෑම් 172ක්ද තිබෙන බව මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය මලු 11ක බහා ධීවර යාත්‍රාවේ පහළ කොටසේ ගබඩාකර සුරක්ෂිතව රැගෙන එමින් සිට ඇති බවද පොලිසිය කියා සිටියි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාවේ වෙරළ ආරක්ෂක බළකාය සමග ඒකාබද්ධව කළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
පසුගිය මාස කිහිපය තිස්සේ දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගවලින් වැඩි ප්‍රමාණයක් අයත්ව තිබුණේ දෙහිබාලේට බව විමර්ශනවලින් හෙළිවී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම හරහා දෙහිබාලේ විසින් උපයාගත් මුදල් යොදවා මිලදී ගෙන තිබූ රුපියල් කෝටි 25 කට අධික වටිනාකමෙන් යුත් බහුදින ධීවර යාත්‍රා 5ක් නීතිවිරෝධී වත්කම් පවරා ගැනීමේ ඒකකය මගින් රජයට පවරා ගැනීමට කටයුතු කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර බහුදින යාත්‍රාව පසුගිය 9 දා ගන්දරින් පිටත්වී ඇති බවත් එම යාත්‍රාව හලාවත ප්‍රදේශයේ ලියාපදිංචි කර ඇති බවත් විමර්ශනවලදී හෙළිකර ගෙන ඇත.
මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්‍ය ඇමති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ද සහභාගි වූහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු දේශීය හා විදේශීය බුද්ධි සේවාවන් සමග අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ සන්නද්ධ හමුදා ඒකාබද්ධ කරගෙන මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඬලීමට උපාය මාර්ගික සැලසුම් කාර්යක්ෂමකර ක්‍රියාත්මක කර ඇති බවත් නි. ඇමැති අරුණ ජයසේකර මහතා කීය.
මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ තොරතුරු ලබාදීම සඳහා 1818 දරන විශේෂ ක්ෂණික දුරකථන අංකය ස්ථාපිත කර ඇති බවත්, ඒ ඔස්සේ නිවැරදි තොරතුරු ලබාදී විශේෂ ත්‍යාග හිමිකර ගැනීමට මහජනතාවට අවස්ථාව තිබෙන බවත් ඒ මහතා කවේය.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පෙලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පැවැත් වෙයි.
අත්අඩංගුවට ගත් අය දින 7ක් රැඳවුම් භාරයට පමුණුවා ඇති අතර ඔවුන් සතුව තිබී සැටලයිට් දුරකථනයක්ද හමුවී තිබේ.




