
දිට්වා සුළිකුණාටුව පහව ගොස් මාසයක් ඉක්මගොස් ඇති නමුත් ඊයේ (29දා) වනවිටත් පවුල් 87,141 ක පුද්ගලයන් තුන්ලක්ෂ එක්දහස් අටසිය හැත්තෑ පහක් (301,875) ආරක්ෂිත මධ්‍යස්ථාන, ඥාති නිවාස හෝ මිතුරන්ගේ නිවාසවල රැඳීසිටින බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇත.

මින් පවුල් 76,801 ක පුද්ගලයන් 267,700 ක් ඥාති හෝ මිතුරන්ගේ නිවාසවලත්, පවුල් 10,340 ක පුද්ගලයන් 34,175 ක් ආරක්ෂිත මධ්‍යස්ථාන 358 ක රැඳී සිටින බවත් එම මධ්‍යස්ථානයට වාර්තා වී තිබේ.
පවුල් 149,460 ක පුද්ගලයන් 499,661 ක් පීඩාවට පත්ව ඇති බවත් මරණ 638 ක්, අතුරුදන්වීම් 175 ක් ඇති බවටත් වාර්තා වී ඇත. පූර්ණ නිවාස හානි 6121 ක්, අර්ධ නිවාස හානි 114,314 ක් ද වාර්තා වී ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන පලාශ 73 න් ජලාශ 10 ක් ඊයේ (29දා) වනවිටත් යම් මට්ටමකින් වාන් දමමින් ද මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 18 ක් යම් මට්ටමකින් වාන් දමමින් ද පැවැති එම දෙපාරත්මේන්තුවේ අධ්යක්ෂ (ජල කළමනාකරණ) පී. එස්. ඩී. හේරත් මහතා පැවැසීය.
ඌව පළාතෙත්, අම්පාර, මඩකළපුව, නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක වැසි ඇතිවිය හැකිය.
මධ්‍යම කඳුකරයේ නැඟෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට පැයට කිලෝමීටර් 40 ක පමණ තරමක සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණි.
ඊයේ පෙරවරු 6.00 ට අවසන් වූ පැය 24 ක කාලය තුළදී කල්මුණේ ප්‍රදේශයට මිලිමීටර් 73.8 ක්, තුංමන්කේලි ප්‍රදේශයට මිලිමීටර් 45 ක් සහ වාකනේරි ප්‍රදේශයට මිලිමීටර් 42.8 ක් ලෙස වැඩි වශයෙන් වර්ෂාපතනය ලැබී ඇත.




