
මතුගම ප්‍රා. සභාවේ ලේකම් නෙලු නිශාන්ති ඉද්දගොඩ මහත්මිය තම සේවා ස්ථානය වන මතුගම ප්‍රාදේශීය සභාව වෙත ඊයේ (02 දා) උදෑසන 9 වනවිට වාර්තා කළ අතර සභාවේ නිල ලේකම් කාමරය, වත්මන් සභාපති කසුන් මුණසිංහ මහතා අත්පත් කරගෙන ඇති අතර ලේකම්වරියට සේවය කිරීමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් ඊයේ නොසන්සුන්තාවක් ඇතිවිය.

ලේකම්වරිය සභාවේ සේවකයන් ඒ පිළිබඳ දැනුවත් කර පසුව තමන්ට රාජකාරි අවශ්‍යතාව මත සභාව සතු කැබ් රථය ලබාදෙන ලෙස පැවසීමත් සමග සභාපති කසුන් මුණසිංහ මහතා සේවකයින්හට කියා සිටියේ තමන්ගේ අවසරයකින් තොරව සභාව සතු වාහන බැහැරව නොයන ලෙසයි.
සභාවේ ලේකම් නෙලු නිශාන්ති ඉද්දගොඩ මහත්මිය මේ පිළිබඳ මතුගම පොලිසිය වෙත පැමිණ රාජකාරි පිළිබඳ ඇතිවූ ගැටලුව සම්බන්ධ පැමිණිළි කර ඇත.
පසුව සභාවේ කාර්ය මණ්ඩලය නිදහසේ රාජකාරි කිරීමට ඉඩකඩ ලබා දෙන්නැයි උද්ඝෝෂණයක නියැළෙමින් සභාවේ වාහන සභාව ඉදිරියේ නවතා තැබිණි. පසුව එම ස්ථානයට පැමිණි මතුගම පොලිසිය විසින් වාහන ඉවත් කෙරිණි.
කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සභාපතිවරයා පොලිස් භාරයට රැගෙන යනු ලැබීය. එම අවස්ථාවේදීද උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත විය.
ලේකම්වරියට ඇගේ කාර්යාලය තුළට ගමන් කිරීමට ඉඩ නොලැබිණු අතර එහිදී ලේකම්වරිය පිරිස අමතා තමාට ඇත්තේ දේශපාලන පත්වීමක් නොව රජයේ පත්වීමක් බව ද රාජකාරි කිරීමට ඉඩ නොලැබේ නම් ආපසු යෑමට වාහනයක් ඉල්ලා සිටියාය. එවිට සභාපතිවරයා කිසිම වාහනයක් තමාගේ අනුමැතියෙන් තොරව දිය නොහැකි බව පැවැසීමෙන් පසු උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත විය. සභාපතිවරයා ලේකම්වරියගේ කාමරයට ඇතුළුවී ඇගේ පුටුවේ වාඩිවීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තේය.
සභාපතිවරයාට හිතවත් විශාල පිරිසක් එම අවස්ථාවේ එහි රැස්ව සිටි අතර අන්තිමේ පොලිසිය එහි පැමිණියේ ලේකම්වරිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මතය.
සභාපතිවරයාව පොලිසියට රැගෙන යෑමට පොලිසිය උත්සාහ කළ ද රැස්ව සිටි පිරිස ඔවුනට ඊට ඉඩ දුන්නේ නැත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ද එහි පැමිණ සිටිනු දක්නා ලදී.
පොලිසිය දැඩි සේ උත්සාහ ගැනීමෙන් පසු සභාපතිවරයා පා ගමනින්ම පොලිසිය වෙත රැගෙන යෑමට පියවර ගැණුනි.
අනතුරුව සභාපතිවරයාව පොලිසිය මගින් අත්අඩංගුවට ගැණුණි.
මතුගම ප්‍රාදේශීය සභා සභාපති කසුන් මුණසිංහ මහතා ජනවාරි 8 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම අධිකරණය නියෝග කරයි.




