
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වෙනිසියුලාවේ ස්ථාන රැසකට එල්ල කළ “මහා පරිමාණ” ගුවන් ප්‍රහාර මාලාවකින් අනතුරුව ඔවුන් දෙදෙනා එරටින් පිටතට ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර වෙනිසියුලානු උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් එරට රජයේ රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් යන දෙදෙනා දැනට සිටින ස්ථානයක් පිළිබඳව තම රජය නොදන්නා බවයි.
ඔවුන් ජීවත්ව සිටින බවට සාක්ෂි වහාම ඉදිරිපත් කරන ලෙස ඇය ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ඉල්ලීමක් කළාය.
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝව මේ වන විටි අමෙරිකාවට ගෙන යන බවත් එහිදී ඔහුට අපරාධ චෝදනා ගොනුකරනු ඇති බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා ඇත.
මදුරෝ ඇමරිකානු භාරයේ පසුවන නිසා වෙනිසියුලාව තුළ ඉදිරියට මෙහෙයුම් අවශ්‍ය නොවනු ඇතැයිද හෙතෙම සදහන් කර තිබේ.
මදුරෝ වෙනිසියුලානු ජනාධිපතිවරයා ලෙස නොසළකන බවත් ඔහුගේ ආණ්ඩුව නීත්‍යනුකූල ආණ්ඩුව නොවන බවත්, ඔහු ලොස්-සෝලෝස් නමැති මත්ද්‍රව්‍ය-ත්‍රස්ත කල්ලියක ප්‍රධානියා ලෙස අමෙරිකාව හඳුන්වන බවත් මාර්කෝ රුබියෝ මීට පෙර චෝදනා කර තිබින.
මේ වන විට වෙනිසියුලානු ආරක්ෂක අමාත්‍යවරයා විසින් එරට හමුදාවන්ට සහ ජනතාවට හදිසි නියෝගයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ වෙනිසියුලාවේ සියලුම ගොඩබිම, ගුවන්, නාවික, මිසයිල බලකායන් වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා යොදවන ලෙසය.
මෙම අත්අඩංගුවට ගැනීමට පෙර, ඇමෙරිකාව විසින් වෙනිසියුලාවේ ප්‍රාන්ත කිහිපයක සිවිල් සහ හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට එරට රජය චෝදනා කළේය.
වොෂින්ටනයේ මෙම “හමුදාමය ආක්‍රමණය” දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ ජනාධිපති මදුරෝගේ රජය, ප්‍රහාර මාලාවෙන් පසු රට තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි.
පසුගිය මාස කිහිපය පුරා දෙරට අතර පැවති දැඩි නොසන්සුන්කාරී වාතාවරණය මෙම තත්ත්වයට මුල් වී ඇත. ජනාධිපති මදුරෝ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට ඇමෙරිකාව දිගින් දිගටම චෝදනා කළ අතර, මදුරෝ එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත්, පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් කරමින් ජනාධිපති මදුරෝ කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි.
පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඇමෙරිකාව වෙනිසියුලාවට ආසන්න මුහුදු කලාපයේ ගුවන් ප්‍රහාර 20කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇති අතර, වෙනිසියුලානු රජයට එරෙහිව සම්බාධක පනවමින් හමුදාමය පීඩනය දැඩි කිරීමට ද පියවර ගෙන තිබුණි.




