
ත්රිකුණාමලය ශ්රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ පසුගිය නොවැම්බර් 16 වැනිදා බුදු පිළිමයක් තැන්පත් කිරීමට වහලයක් සහ ආවරණයක් සකස් කිරීමේදී වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කළ බව කියන චෝදනාවකට බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් සිව් නමක ඇතුළු පුද්ගලයන් නව දෙනකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට ත්රිකුණාමලය මහෙස්ත්රාත් අධිකරණය ඊයේ (14දා) නියෝග කළේය.

මීට අදාළව පසුගිය දෙසැම්බර් 10 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙසට 11 දෙනකුට නොතීසි නිකුත් කර තිබිණි. ඒ අනුව ඊයේ ත්රිකුණාමලය මහෙස්ත්රාත් අධිකරණය හමුවේ 9 දෙනකු පෙනී සිටි අතර අධිකරණයට ඉදිරිපත් කර තිබූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්රාත්වරයා හිමිවරුන් සිව්දෙනා හා සිවිල් පුද්ගලයන් 5 දෙනා ඇතුළු 9 දෙනාම රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරිණි.
ත්රිකුණාමලය වරාය පොලිසිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබිණි.
ත්රිකුණාමලය විහාරස්ථානයක තැන්පත් කර තිබූ බුද්ධ ප්රතිමාවක් ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමග 2025 නොවැම්බර් 16 වැනිදා එහි නොසන්සුන්තාවක් හටගැනිණි.
මෙම සිද්ධියට අදාළ ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි කර තිබූ අතර, එහිදී බුද්ධ ප්රතිමාව ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී හිමිවරුන්ගෙන් හා ප්රදේශවාසීන්ගෙන් පොලිසියට දැඩි විරෝධයක් එල්ල විය.




