
නීත්‍යනුකූල ලෙස පෞද්ගලිකව මෙරටට ආනයනය කළ වාහනවලට රේගුවෙන් පනවා තිබෙන අධිභාරය හේතුවෙන් මුදාගත නොහැකිව මෝටර් රථ තුන්සීයකට ආසන්න ප්‍රමාණයක් මාස හයක් තිස්සේ කොළඹ හා හම්බන්තොට වරායන්වල හිරවී ඇතැයි වාහන හිමියෝ පවසති.

නීත්‍යනුකූල බැංකු හරහා ණය බර ලිපි මගින් පෞද්ගලිකව මුදල් බැර කර වාහන ආනයනය කළ බවත් නොගැළපෙන රේගු බදු ඉල්ලීම්වලට යටත්ව තම වාහන මුදා ගැනීමට සිදුව තිබෙන බවත් ඔවුහු පවසති. මේ හේතුවෙන් අනෙකුත් සාමාන්‍ය බදුවලට අමතරව මෙම රේගු අධිභාරය නිසා සිය වාහනයේ වටිනාකමින් සියයට පනහකට ආසන්න මුදලක් ගෙවීමට සිදුව තිබෙන බැවින් තමන් දැඩි සේ අසරණ වී ඇති බවද එම වාහන ආනයනකරුවන්ගේ මාධ්‍ය හමුවකදී විධායක නිලධාරියකු වන දමිත් මලවිතන්තිල මහතා පැවැසීය.
මෙසේ දීර්ඝ කාලයක් තිස්සේ වාහන වරායේ රඳවා තබාගැනීම නිසා ප්‍රමාද ගාස්තු රු. ලක්ෂ 30-50 අතර මුදලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම ප්‍රමාද ගාස්තු ගෙවීමට තමන්ට වෙනත් අයගෙන් ණයට මුදල් ගැනීමට සිදුව තිබෙන බවත් ඒ මහතා කීවේය.
2013 වසරේ ද මේ ආකාරයට වාහන ගෙන්වීමට නොහැකි බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබුණු බවත් එහෙත් 2025 මැයි 27 තෙක් එම චක්‍රලේඛයට පිටින් පෞද්ගලිකව වාහන ගෙන්වා ගෙන නිදහස් කර තිබෙන බවත් කී දමිත් මලවිතන්තිලක මහතා වත්මන් ආණ්ඩුව යටතේ එම චක්‍රලේඛය වෙනුවට 50% ක අධිභාරයක් රේගුව විසින් පනවා තිබෙන බවද කීවේය.
මෙම හේතුව නිසා පෞද්ගලිකව වාහන ගෙන්වූ පුද්ගලයන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බවත් ජනාධිපතිවරයා වහාම මේ පිළිබඳව අවධානය යොමුකර සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.




