
බුර්කාවකින් සැරසුණු පාතාල කුලී ඝාතකයකු සහ තවත් අයකු වෙරලබඩ ජින්තුපිටිය ප්‍රදේශයේ නිවසකට 16 දා රාත්‍රී 10.30ට පමණ කඩාවැදී එහි සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර කුඩා දරුවන් දෙදෙනකුට තුවාල කිරීමේ සිද්ධිය පලනි රිමෝෂන් නමැති පාතාල නායකයාගේ මෙහෙයවීම මත සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

තුවාල ලැබූ දරුවන් දෙදෙනාගෙන් දෙහැවිරිදි පිරිමි දරුවා ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දරුවා වන අතර තුන් හැවිරිදි දැරිය ඥාති දියණියකි. ඔවුන් දෙදෙනාම කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
මෙහිදී ඝාතනයට ලක්වූවේ ජේසු හසන් හෙවත් ‘කොනිස්ටන්’ නමැති 44 හැවිරිදි පුද්ගලයෙකි. මොහු කලක් පාතාල කල්ලි නායක පූකුඩුකන්නාගේ කල්ලියේ සාමාජිකයකුව සිට පසුව පලනි රිමෝෂන්ගේ කල්ලිය සමග සම්බන්ධ වී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.
පොලිසිය සවසන අන්දමට මොහු පලනි රිමෝෂන්ගෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඒවා විකුණා මුදල් ආපසු ලබා නොදීම සම්බන්ධයෙන් ආරවුල් තිබී ඇත.
මීට දින කිහිපයකට උඩදී ඝාතනයට ලක්වූ මෙම පුද්ගලයාගේ බිරිඳ පලනි රිමෝෂන්ගේ නැන්දනියට පරුෂ වචනයෙන් බැණවැදී ඇති බව ද පොලිසිය සිදු කළ විමර්ශනවලින් හෙළි වී තිබිණි.
මෙම සිදුවීම් දාමයට පළිගැනීමක් ලෙස පලනි රිමෝෂන් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
පෙරේදා රාත්‍රී 10.30ට පමණ ජේසු හසන් නමැත්තා ජින්තුපිටියේ පිහිටි ඔහුගේ නිවසේ රූපවාහිනිය නරඹමින් සිට ඇත්තේ සිය පුත්‍රයා සහ ඥාති දියණිය ද සමගය.
ඒ අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් පැමිණි කුලී ඝාතකයන් දෙදෙනා ඔහුගේ නිවස පිහිටි ස්ථානය ආසන්නයේ නතර කර පාගමනින් එහි පැමිණ ඇත.
එක් කුලී ඝාතකයකු මුළු සිරුරම වැසී යන ආකාරයේ බුර්කාවකින් සැරසී සිට ඇති අතර අනෙක් පුද්ගලයා පිස්තෝලයක් ද රැගෙන එහි පැමිණ තිබේ.
පසුව ඔවුන් නිවස තුළ රූපවාහිනිය නරඹමින් සිටි ජේසු හසන් වෙත වෙඩි ප්‍රහාර හයක් පමණ එල්ල කර ඇත. එම වෙඩි ප්‍රහාරවලින් ජේසු හසන් එම ස්ථානයේදීම ඝාතනයට ලක් වූ අතර කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා තිබිණි.
ප්‍රහාරය එල්ල කළ කුලී ඝාතකයන් පසුව ත්‍රිරෝද රථයෙන්ම පලාගොස් ඇත.
සිද්ධිය සැලවීමත් සමගම එහි ගිය කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා ඇතුළු නිලධාරීහු ඝාතකයන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ආරම්භ කළහ.
මෙම ප්‍රහාරය සඳහා කුලී ඝාතකයන් පැමිණෙන ඇයුරු දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන පොලිසිය විසින් සොයාගෙන තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.




