
රටේ සංස්කෘතිය හා සභ්‍යත්වය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ පැවැසුවේ මුතියංගන රජමහා විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකට වැඩම කළ අවස්ථාවේදීය. තවදුරටත් කතා කළ මහ නාහිමිපාණෝ මෙසේද කීහ.
බුදුදහමට බොහෝ අවහිරතා මේ වකවානුව තුළ තිබෙනවා කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේවා කව්රුත් තේරුම් ගත යුතුවයි තිබෙන්නේ. මේ රටේ ජනතාවට, බුද්ධාගමට වෙලා තියෙන විපත්තිය කරන්නට බලාපොරොත්තු වන හිංසනය පිළිබඳ අපි කව්රුත් කල්පනා කරන්න ඕන. විවිධ ජාතීන්, විවිධ ආගමිකයන් මේ රට තුළ ජීවත් වෙනවා. ඔබ අප සෑම දෙනාම බොහොම සහෝදරත්වයෙන් ජීවත් වුණා මෙතෙක් කල්. ඒවා පළුදු වුණේ නැහැ. ජීවත් වුණා. නමුත් ඒවා ඉවසන්නට බැරිව අපේ දියුණුව තේරුම් ගන්න බැරිව අපේ ජාතිය, අපේ ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය විනාශ කිරීමේ බලාපොරොත්තුවෙන් ද මේ කටයුතු කරන්නේ කියන එක වෙලාවකට හිතෙනවා.
බුදුදහම මහා හිසරදයක් වෙලා තිබෙන්නේ අපේ රටේ අයට ද? එහෙම නැත්නම් විදේශිකයන්ට ද දන්නේ නැහැ. නමුත් ඒ අය කරන විපත්ති තුළින් අපි මෙච්චර කාලයක් හොඳින් ආරක්ෂා කරගෙන ආපු බුදුදහම විනාශ කරන්න කටයුතු යෙදෙන බව පමණක් පේනවා. ආගමික වශයෙන් අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට පමණක් මේ රට ආරක්ෂා කරගන්න, සංස්කෘතිය රැකගන්න පුළුවන්කමක් නැති බව පේනවා.”




