
තමන් නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු නොවන බවත්, තමන් ගන්නා ඕනෑම තීරණයක් වැරදි සහගත නම් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ පූර්ණ අයිතිය ඕනෑම අයෙකුට පවතින බවත් නීතිපති ජනාධිපති නීතිඥ පරින්ද රණසිංහ මහතා අවධාරණය කරයි.

මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කර ගනිමින් එල්ල වූ විවිධ විවේචන හමුවේ, නීතිපතිවරයා වෙත සහයෝගය පළ කිරීම සඳහා නීතිඥ කණ්ඩායමක් නීතිපති දෙපාර්තමේන්තුවේදී ඔහු හමුවූ අවස්ථාවේදී රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිපතිවරයා මෙසේද පැවසීය.
“මා නීතියට ඉහළින් සිටින අයෙකු නොවෙයි. මා යම් වැරැද්දක් සිදු කරන්නේ නම්, එය අභියෝගයට ලක් කිරීම සඳහා අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සහන ලබාගැනීමට ඕනෑම අයෙකුට නීතිමය අවකාශය පවතිනවා.”
නීතිපතිවරයාගේ ස්වාධීනත්වයට සහ රාජකාරී කටයුතුවලට බාධාවකින් තොරව කටයුතු කිරීමට තම උපරිම සහයෝගය ලබා දෙන බව එම නීතිඥ කණ්ඩායම මෙහිදී ප්‍රතිඥා දුන්හ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ උපල් ජයසූරිය, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස යන මහත්වරුන් ඇතුළු නීතිඥයින් පිරිසක් සහභාගී වී සිටියහ.
මේ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නීතිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී කිසිදු අනවශ්‍ය බලපෑමක් එල්ල නොවන බවට වගබලා ගැනීම රජයේ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගකීමක් බවයි.
නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා නීතිපති කාර්යාලයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවද එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත.




