
යම් හෙයකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අත්හිටුවුවහොත් ඔවුන් ඉතාම අසරණ තත්ත්වයකට පත්වනු ඇති බවත් බහුතරයක් හිටපු මන්ත්‍රීවරු අද දුෂ්කරතා මැද අසීරුවෙන් වුව ලැබෙන විශ්‍රාම වැටුපෙන් ජීවිතයට මුහුණ දෙන බව අමතක නොකරන ලෙස දන්වමින් හිටපු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කිරීම නොකරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ සංගමය වෙනුවෙන් හිටපු කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් ඉල්ලා තිබේ.

ඔහු එමගින් වැඩිදුරටත් පවසන්නේ දිට්වා ව්‍යසනයෙන් පසු දේශය ගොඩනැඟීමට හා ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිතුමා විශාල කැපවීමකින් ක්‍රියාකරන අවස්ථාවක වෙනත් කරුණක් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවීම පිළිබඳව කනගාටු වෙමි. එහෙත් හිටපු මැති ඇමැතිවරුන් හා ඔවුන් අතරින් ඇතැමකුගේ වැන්දඹුවන් ආදී පන්සියයකට ආසන්න කණ්ඩායමක් වෙනුවෙන් මෙම ඉල්ලීම කරනුයේ දැඩි මානුෂිය හැඟීමෙනි.
හිටපු මැති ඇමැතිවරුන් කෙරෙහි දැඩි මහජන අප්‍රසාදයක් පසුගිය වකවානුව තුළ ගොඩනැඟී තිබිණි. සෑම මන්ත්‍රීවරයකුම වංචාකාරයකු, දූෂිතයකු ලෙස හංවඩු ගැසී තිබිණි. සමස්තයක් ලෙස සලකා බලන කල්හි එය සාධාරණ නොවන බව අපගේ හැඟීමයි. ඉහත සඳහන් හිටපු මහජන නියෝජිතයන් අතර වමේ ගෞරවනීය දේශපාලන නායකයන් සහ 30 කට ආසන්න හිටපු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙන්ම දේශපාලනයෙන් තම දේපළ නැති කරගත් අවංක මහජන නියෝජිතයන් රාශියක් ද සිටිති.
එමෙන්ම තරුණ වියේ දේශපාලනයට ඇතුළු වී මැතිවරණවලට ඉදිරිපත්වීම සඳහා රාජ්‍ය සේවයෙන් අස්වීමේ හේතුවෙන් අද වනවිට විශ්‍රාම වැටුප් නොලබන හිටපු රාජ්‍ය සේවකයන් පිරිසක් ද ඒ අතර වෙති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි කළහොත් එම මන්ත්‍රීවරුන්ට ද එමගින් බලවත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. වර්තමාන පාර්ලිමේන්තුවේ ද සිටින එවැනි මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුටද අනාගතයේදී එම තත්ත්වයම උරුම වනු ඇත.
එමෙන්ම එම වරප්‍රසාද අහෝසි කිරීම සඳහා වත්මන් රජයට මහජන වරමක් ද ලැබී ඇති බවද අපි පිළිගනිමු. එහෙත් රටේ ප්‍රධාන පුරවැසියා වන රාජ්‍ය නායකයා ලෙස එම කරුණ පිළිබඳව සානුකම්පිතව සලකා බැලිය හැකි බව අපගේ විශ්වාසයයි. එහිදී පහත සඳහන් කරුණු කෙරෙහිද ඔබතුමාගේ අවධානය යොමුවනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.
අප නිදහස ලබන විට ඉඩම් හිමි, උගත්, ධනවත් ප්‍රභූ පන්තියට දේශපාලනය සීමා විය. එහෙත් 1956 පසු සාමාන්‍ය පොදු මිනිසාට දේශපාලනයට ඉඩ ලැබිණි. ඒ මගින් විශාල සමාජ විපර්යාසයක් ඇති විය.
එම තත්ත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණූ හේතුවෙන් ධනවතුන්ට, ව්‍යාපාරිකයන්ට හා අයුතු ලෙස මුදල් උපයන පුද්ගලයන්ට සහ ධනවත් දේශපාලන පක්ෂවලට පමණක් දේශපාලනය සීමාවනු ඇත. අවංක සමාජ සේවකයන්ට ද මේ හේතුවෙන් දේශපාලන ක්ෂේත්රයට ඉදිරිපත් විය නොහැකි වනු ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය පිහිට වූයේ පවත්නා රජයටත් ඉදිරියේදී බලයට පත්වන රජයන්ටත් පැරණි මන්ත්‍රීවරුන්ගේ දැනුම හා අත්දැකීම් ලබාදීම වෙනුවෙනි. 2021/2022 අවිනිශ්චිත දේශපාලන සමයේදී සංගමයේ බිහිවීම සිදු විය. ලෝකයේ බොහෝ රටවල මෙවැනි සංගම් පවතින අතර පවතින රජයන් සමග මෙම සංගම් ඉතා සුහදව කටයුතු කරයි. එවැනි සංගම් නැත්තේ රටවල් කිහිපයක පමණි.
යම් හෙයකින් විශ්‍රාම වැටුප් ගෙවීම් අත්හිටුවුවහොත් ඔවුන් ඉතාමත්ම අසරණ තත්ත්වයකට පත්වනු ඇත. දකුණු ආසියාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල හිටපු මහජන නියෝජිතයන්ට සම්ප්රදායක් වශයෙන් මෙම සහන ලැබේ. එමෙන්ම පවතින රජයන් ඔවුන්ගේ දැනුම අත්දැකීම් ප්‍රයෝජනයට ගනු ලබයි. ජාතික ප්රශ්නවලදී මෙම සංකල්පය විශාල වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇත.
අපත් ඇතුළුව ඉතා සුළු පිරිසක් විශ්‍රාම වැටුප සමාජයීය හා පුණ්‍ය කටයුතු සඳහා යෙදවුවත් අති බහුතරයක් මන්ත්‍රීවරුන් යැපෙන්නේ මෙම මුදලිනි.
එහෙයින් ජනාධිපතිතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම පනත ක්‍රියාත්මක කිරීමට පෙර සර්වපාක්ෂික නියෝජිත පිරිසක් හමුවී මේ පිළිබඳව සාකච්ඡා කර මානුෂිකව මෙම ප්රශ්නය කෙරෙහි අවධානය යොමු කර විසඳුමක් ලබාදෙන ලෙසයි.




