
අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය වසරේදී (2025) පුද්ගලයන් 84 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

2025 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම් 130කින් මෙම පිරිස් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් වැඩි පිරිසක් පොලිසියේ රාජකාරියේ නිරත අය වන අතර එම සංඛ්‍යාව 30කි.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අතර පොලිස් සැරයන්වරුන් 13ක්, කොස්තාපල්වරුන් 9ක්, උප පොලිස් පරීක්ෂකවරුන් 4ක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 2ක් වන බවද එම කොමිසම කියයි.
පොලිසියට අමතරව අධිකරණ අමාත්‍යාංශය හා සම්බන්ධ ආයතනවල පුද්ගලයන් 11 දෙනකු ද ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 5 දෙනකු ද ග්‍රාම නිලධාරීන් තිදෙනකු ද ප්‍රාදේශීය සභාවල නිලධාරීන් තිදෙනකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව එම කොමිසම පවසයි.
ගිය වසරේ වැටලීම් මගින් සිදු කළ අත්අඩංගුවට ගැනීම් හැර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරන ලද පරීක්ෂණවලට අදාළව පුද්ගලයන් 56 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් කොමිසම කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර හිටපු අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, වෛද්‍යවරුන්, ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් වන බවද අල්ලස් කොමිසම කියයි.




