
අරගලකරුවන්ට පහරදුන් බව කියන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන්ට ඇප නොදෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවට අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ හා රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා යන දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (02දා) වරෙන්තු නිකුත් කළේය.

එම සැකකරුවන්ගේ ඇපකරුවන්ට නොතිසි නිකුත් කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. එමෙන්ම පෙර නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ තැන්නේ ඥානානන්ද හිමියන් රුපියල් ලක්ෂයක අමතර ඇපයක් මත මුදාහැරීමට ද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
2022 ජූලි 25 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ උද්ඝෝෂණයක් පැවැත්වීම ඇතුළු චෝදනා යටතේ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් එම වරෙන්තුකාර සැකකරුවන් දෙදෙනාට මෙන් ම රංගන ශිල්පිනී දමිතා අබේරත්න, ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින්, ධම්මික මුණසිංහ, සත්‍යවේල් පියතුමා, ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඇතුළු හත්දෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබිණි. නීතිඥ තිළිණ වීරසිංහ මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.




