
කථානායකවරයාත් නිලධාරි මණ්ඩලයත් අතර ඇතිවී තිබෙන ගැටුම නිසා පාර්ලිමේන්තුව ඉතිහාසයේ කවදාවත් නැති විදිහට හෑල්ලු වී ඇති බව පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා (සජබ) ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

අනුර බණ්ඩාරනායක කථානායකවරයාගේ සිට මේ දක්වා සිටි කථානායකවරුන් ලේකම් මණ්ඩලය සමග ඉතා සුහදව කටයුතු කළ බවද කඩිනමින් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා නිවැරදිව ක්‍රියා කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.
අද කථානායකවරයාත් ලේකම් මණ්ඩලයත් අතර විශාල ප්‍රශ්නයක් රටේ කතාවට ලක්වෙලා. පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේදී පාර්ලිමේන්තු ක්‍රමය පවත්වාගෙන යෑමේදී ලේකම් මණ්ඩලය විශාල කාර්යක් කරනවා. දේශපාලන පක්ෂයකින් පත්වන කථානායකවරයා මේ සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ලේකම් මණ්ඩලය අවශ්‍ය උපදෙස් දෙනවා. ඉතිහාසයේ අපි කවදාවත් දැක්කෙ නෑ කථානායකවරයා හා ලේකම් මණ්ඩලය අතර ප්‍රශ්න වෙලා තියෙනවා. කථානායකවරු 10 දෙනෙක් පමණ එක්ක වැඩ කරන්න ලැබුණා. අනුර බණ්ඩාරනායක, කරු ජයසූරිය, විජමු ලොකුබණ්ඩාර, චමල් රාජපක්ෂ ඇතුළු කථානාකවරු බොහොම හොඳින් වැඩ කළා. අද ලේකම්වරයා අස්කර තියෙනවා. ලේකම්වරයා ගිහිල්ලා අල්ලස් කොමිසමට කථානායකට වරුද්ධව පැමිණිල්ලක් ගොනු කරලා. ඉතිහාසයේ කවදාවත් මේ වගේ තත්ත්වයක් දැකලා නෑ. මෙය නරක තත්ත්වයක්. මේකද සිස්ටම් චේන්ජ් එක? කොහොමද පාර්ලිමේන්තුව ගෙනියන්නේ? භයානක තත්ත්වයක්. අස්කරපු ලේකම්වරයාට නිදහසට කරුණු කියන්න අවස්ථාවක් දීලා නෑ. මහලේකම් කරන්න ඕන වැඩේ කථානායක කරලා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති නලින්ද ජයතිස්ස – කථානායකවරයාට පමණක් නොව ලේකම් මණ්ඩලයටත් පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ වගකීම තිබෙනවා. පාර්ලිමේන්තු නියෝජ්‍ය ලේකම්වරයාගේ ප්රශ්නය පාර්ලිමේන්තුවේ නිලධාරි උපදේශක කමිටුවේ ක්‍රියාකරන්නේ. එහි විපක්ෂ නායකත් නියෝජනය කරනවා. එම කමිටුවේදී තමයි පරීක්ෂණයක් කරන්න තීන්දුව ගන්නේ. පරීක්ෂණ කිරීමට ඒකපුද්ගල කමිටුවක් පත් කළෙත් ඒ කමිටුවේ රිපෝට් එක ලැබුණෙත් විපක්ෂ නායක ඉන්න කමිටුවට. නියෝජ්‍ය මහලේකම් ගැන තීන්දුවක් ගත්තා එහිදී. ලේකම්ටත් කරුණු දක්වන්න අවස්ථාව දුන්නා. කාටහරි අසාධාරණයක් වුණා කියලා හිතනවානම් ඊට ඕන තරම් අවස්ථාව තියෙනවා ක්‍රියා කරන්න. ඒ නිසා මෙය කිසිවිටක පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය අහිමිකරන එකක් නොවෙයි. සියලු තීන්දු ගැනීමේදී විපක්ෂ නායක හිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ගයන්ත කරුණාතිලක, චමින්ද්‍රානි කිරිඇල්ල, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාසමාණිකම්, අජිත් පී. පෙරේරා යන මහත්වරු ද මේ පිළිබඳ අදහස් දැක්වූහ.




