
අපේ ඇඟේ ලේ වැක්කෙරෙනවා. සිවුර ගැලවෙනකම් පොලිසිය අපට පහර දුන්නා. අවසානයේදී අපි රෝහල්ගත වෙනවා. ඊට පස්සේ බන්ධනාගාරයේදීත් ඉහළ පුද්ගලයෙක් තර්ජනය කරනවා ‘උඹට පුළුවන් දෙයක් කරපන් කියලා’ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරිය බලංගොඩ කස්සප හිමියෝ දින 29කට පසු මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (12 වැනිදා) පැවසූහ.

කොළඹ බෞද්ධ මහා සම්මේලනයේදී තවදුරටත් කතා කළ උන්වහන්සේ මෙසේ ද කීහ.
ඓතිහාසික පුරාවෘත්තයක් තියෙන ලංකාවට සියම් දේශයේ සිට උපසම්පදාව රැගෙන ආපු පුන්‍යභූමිය මත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කරලා බුද්ධ ආවරණයක් සකස් කිරීම වරදක් සේ සලකලා තමයි දින 29ක් පුරා මා ඇතුළු උපසම්පදා භික්ෂුන් වහන්සේලා සිව්නමක් ඇතුළු 10 දෙනකුට රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නට වුණේ.
ඒ සිංහල බෞද්ධ විරෝධී ද්‍රෝහී ආණ්ඩුව විසින් සිදුකරන ලද ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්. දැන් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ කතා කළේ කොළඹ ඉඳන් ඇයි අපි සම්බන්ධ වුණේ කියලා.
උතුරු නැඟෙනහිර මහ සඟරුවන ඇතුළු සිංහල බෞද්ධ ප්‍රජාව බොහෝ දුක් කම්කටොළුවලින් පිරුණු ජීවිතයක් ගත කරන්නේ. උන්වහන්සේලා ඉතිහාසයේ සිට උතුරේ ජනතාව කෙරෙහි බොහොම සංයමයෙන් හා සාවධානව ඔවුන්ගේ අභිවෘද්ධිය තකා කටයුතු කරනවා.
බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීමට ආවරණයක් සකස් කරලා අපි වැඩම කළා. පටන් ගත්ත තැන ඉඳලා ත්‍රිකුණාමලය වරාය ඕ. අයි. සී. මහත්තයා ඇවිත් කියනවා වෙරළ සංරක්ෂණ අධිකාරියෙන් ඔබවහන්සේලාට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා කියලා. පැමිණිල්ලක් තියෙනවානම් මහත්තයො කියන්න. අපි එන්නම් විභාගයට කියලා අපි කිව්වා. ඊට පස්සේ ඔහු පිටත්වෙලා ගියා. මේක කරන්න දෙන්න බැහැ හාමුදුරුවනේ කියලා ඔහු දුරකථනයෙන් කිව්වා. පැමිණිල්ලක් තියෙනවනම් කියන්න අපි විභාගයට එන්නම් කියලා අපි කිව්වා. ටික වෙලාවක් ගියාට පස්සේ සිවිල් ඇඳුම් ඇඳගත්තු පිරිසක් මැර කල්ලියක් වගේ ආවා. ඇවිත් මේක කරන්න දෙන්න බැහැ හාමුදුරුවනේ කියලා කිව්වා. ඔබ කවුද කියා මං ඇහුවා. එතකොට මම මේ පළාතේ එස්. එස්. පී. කිව්වා.
මම කිව්වා මහත්තයො පැමිණිල්ලක් තියෙනවා නම් කියන්න අපි එන්නම්. මේක කඩා ඉවත් කරන්න හදනවනම් අධිකරණ නියෝගයක් අරන් එන්න ප්‍රශ්නයක් නැහැ කියලා. නැහැ බලාගන්නම් මේක කඩා ඉවත් කරනවා කියලා තර්ජනය කරලා ඔහු විහාරස්ථ භූමියෙන් පිටවෙලා ගියා. ටික වේලාවක් ගියාට පස්සේ මන්ත්‍රීවරයෙක් ඇවිත් කමක් නැහැ හාමුදුරුවනේ මේවා කරගෙන යන්න කියලා කිව්වා. ආපහු හවස තවත් මන්ත්‍රීවරයකු SSP සමග ඇවිත් මේක නවත්වන්න කිව්වා.
පින්කම නවත්වන්න පොලිසිය මැදිහත් වෙනවා. රාත්‍රී කාලයේ අපි බුද්ධ ප්‍රතිමාවහන්සේ තැන්පත් කරලා පිරිත් කියලා මිනිසුන්ට අනුශාසනා කරලා මිනිස්සු ගියාට පස්සේ පොලිස් නිලධාරීන් 200ක් විතර විහාරස්ථානය වට කරනවා. කැරලි මර්දනයත් එකතු වෙලා. මොකටද මේ වට කරන්නේ? ඇයි කියලා ඇහුවත් ඔවුන් උත්තර දෙන්නේ නැහැ.
ලස්සන ගේට්ටුවක් තියෙද්දි ඇතුළට එන්න පිවිසුම් මාර්ග 2ක් තිබියදී කම්බි වැට කපාගෙන ඇවිත් අපිට පහර දුන්නා. පහර දීලා බුදු පිළිමය පැහැරගෙන ගියා. එතනදී අපි කියනවා අපිට ගහන්න එපා කියලා. අපේ භාණ්ඩාගාරිකතුමිය දායක සභාවේ රුපියල් පනස්දාහක් තියෙනවා ඉතුරුවෙලා ඒ පනස්දාහ තියෙනවා හාමුදුරුවන්ට ගහන්න එපා කිව්වා. පහර දෙනකොට අපේ බුදු පිළිමය බදාගෙන ගෙනියන්න එපා මේක අපේ අයිතිය කියලා කියනවා. ඔප්පුවක් තියෙන ඉඩමක් කියලා කිව්වාග ඒ කිසිවකට කන් නොදී පොලිසිය පහර දීලා ගියා. අපේ ඇඟේ ලේ වැක්කෙරෙනවා. මුතුකුඩය කඩලා අපේ සුඛිතවංශ හාමුදුරුවන්ට ගැහුවා.
රෝහලේ ඇඩ්මිට් වුණාට පස්සේ ආණ්ඩුවේ ප්‍රබලයෙක් අපේ කෙනකුට දුරකථන ඇමතුමක් අරගෙන මේ විදිහට මේක විසඳගමු කියලා කිව්වා. මොනව වුණත් අපි සටන පාවා දෙන්නේ නැහැ.
දිවයින




