
විදේශ විනිමය පනත යටතේ මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබා දී ඇති අවස්ථාවකදී හැර මෙරට නේවාසිකයින් අතර සිදුවන සියලුම ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයින් විසින් මෙරට දී සිදුකරනු ලබන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල් වෙනුවට විදේශ මුදල් භාවිත කරන අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුවී ඇති බව ද මහ බැංකුව කියයි.
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධානවලට අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබා දී ඇති අවස්ථාවකදී ශ්‍රී ලංකා රුපියල් වෙනුවට විදේශ මුදල් භාවිත කිරීමට අවස්ථාව ඇත.
එසේම ශ්‍රී ලංකා රුපියල් විදේශ මුදල්වලට පරිවර්තනය කරමින්, විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් (හර හෝ බැර කාඩ්පත්) මගින් සිදුකරන ගෙවීම් ද ඇතුළුව, දේශීය ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ගෙවීම්, විදේශ විනිමය ගිණුමකට බැර කරවා ගැනීම සඳහා දේශීය වෙළෙඳුන් හට මහ බැංකුව විසින් කිසිදු අවසරයක් ලබා දී නොමැති බව වෙළෙඳුන්ට සහ මහජනතාවට දන්වා සිටින බව ද මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව, ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයකු මෙරට වෙළෙඳ ආයතනයක් වෙත විදේශ මුදලින් ගෙවීම් සිදු කිරීම හෝ ඕනෑම වෙළෙඳ ආයතනයක් භාණ්ඩ හා සේවා සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයකුගෙන් විදේශ මුදලින් ගෙවීම් ලබා ගැනීම, ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ වරදක් වේ. මහෙස්ත්රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ එම තැනැත්තකුට රුපියල් මිලියන විසි පහකට (රු.25,000,000) නොවැඩි දඩයක් හෝ වසර තුනකට නොවැඩි කාලයක් සඳහා (බරපතළ හෝ ලිහිල්) සිරදඬුවමක් හෝ එම දඩය සහ සිර දඬුවම යන දඬුවම් දෙකටම යටත් විය යුතුය.
දැඩි නීතිමය ක්‍රියාමාර්ගවලට භාජනය වීම වැළැක්වීම සඳහා, මෙම නීතිමය අවශ්‍යතාවට දැඩි ලෙස අනුගත වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.




