
වසර 18ක් පුරා දීර්ඝ කාලයක් විභාග වූ වස්කඩුව මනුෂ්‍ය ඝාතන නඩුවේ විත්තිකරුවන් තිදෙනකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ඊයේ (13 වැනිදා) ඔවුන්ට මරණ දඬුවම නියම කළේය. කුඩා වස්කඩුව, ලිවින්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචි සුරේෂ් කුමාර, සුගත් කුමාර හෙවත් රාළහාමි සහ සමිත සිසිර කුමාර හෙවත් බෙටා නමැති පුද්ගලයින් තිදෙනාට මෙසේ මරණ දඬුවම නියම වුණි.

කුඩා වස්කඩුව ලිවින්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි චමින්ද කුමාර නමැත්තා 2008 ඔක්තෝබර් මස 23 වැනිදා හෝ ඊට ආසන්න දිනක රාත්‍රී වස්කඩුව ප්‍රදේශයේ පැවැති අවමඟුල් නිවසකදී පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් පසුව නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබීය. පසුගිය නඩු වාරයේදී පැමිණිල්ලේ සහ විත්තියේ දේශන ඉදිරිපත් කර තිබූ අතර, තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ඊයේ (13 වැනිදා) සිදුකරනු ලැබීය.
තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර මහාධිකරණ ශාලාවේ දොර ජනෙල් වසා දමා විදුලි පහන් නිවා අධිකරණ ශාලාව තුළ රැඳී සිටි සියලුදෙනා අසුන්වලින් නැගිටවීමෙන් පසු විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක වන්නිආරච්චි මහතා පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥවරුන්ද, පොලිසිය වෙනුවෙන් සැරයන් මනෝජ් නිශාන් (5778) මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.




