
2025 වසර මෙන්ම මෙම වසර ආරම්භයේදී වෙඩිතැබීම් සිද්ධි කිහියපක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය.

වසර ආරම්භ වී මාස එක හමාරක පමණ කලක් ගත වනවිටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි 7ක් වාර්තා වූ අතර එම වෙඩිතැබීමේ සිද්ධීන්වලින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇත.
මෙමගින් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් තවදුරටත් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට ඇත.
මෙම වෙඩි තැබීමේ සිද්ධීන්වලින් වඩාත් කතා බහට ලක්වූ වෙඩිතැබීමේ සිද්ධිය ලෙස ඊයේ (13) පස්වරුවේ සිදුවූ අකුරේගොඩ ද්ත්ව ඝාතනය සඳහන් කළ හැකිය.
මෙම ද්ත්ව ඝාතනය සිදුවෙන්නේ අකුරේගොඩ යුදහමුදා මූලස්ථානය අසල පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී වන අතර මෙම ඝාතනය රටම කම්පා කළ සිද්ධියක් විය.
මෙම ඝාතනය සිදුවන්නේ අධිආරක්ෂිත කාලාපයක් ආසන්නයේ වීමද විශේෂත්වයකි.
සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව ඉලක්කකර මෙම වෙඩිතැබීම සිදුව තිබුණි.
මෝටර් රථයකින් පැමිණෙන වෙඩික්කරුවන් දෙදෙනෙකු ටී-56 වර්ගයේ ගිනිඅවි 2ක් රැගෙන එම මෝටර් රථයේ පිටුපස අසුනෙන් බැස වෙඩිතැබීම ඉලක්ක වු මෝටර් රථයේ ඉදිරිපස දෙපසින් ගොස් වෙඩි තැබීම සිදුකර තිබුණි.
වෙඩික්කරුවන් වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ලකර පලාගොස් ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය විය.
ඉන් ජීප් රථයේ සිටි අඹුසැමි යුවළ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.
එලෙස ඝාතනයට ලක්වුණු නීතීඥවරයා බුද්ධික මල්ලවආරච්චි නම් 44 හැවිරිදි අයෙක්වන අතර ඔහු බිරිඳ 42 හැවිරිදි ඩබ්ලිව්.ඒ. නිසංසලා නම් කාන්තාවකි.
පොලීසිය පැවසුවේ, අදාළ නීතීඥවරයා මීට පෙර අපරාධකරුවකු වන “කරන්දෙණිය සුද්දා” ලෙස හඳුන්වන අපරාධකරුවෙකුගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිට අනතුරුව ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන “ලොකු පැටී” නැමැති අපරාධකරුගේ නඩු කටයුතු සඳහා පෙනී සිට ඇති බවය.
ඒ අනුව, කරන්දෙණිය සුද්දාගේ තොරතුරු ලොකු පැටී නැමැත්තාට ලබාදී ඇති බවට ඇති වූ සැකයක් මත මෙම ඝාතනය සුද්දාගේ පාර්ශ්වය විසින් සිදුකර ඇති බවට සැක කරන බව පොලීසිය සඳහන් කළේය.
නීතිඥවරයාගේ වෘත්තීය පසුබිම
අදාළ නීතීඥවරයා වසර 5ක පමණ කාලයක සිට අපරාධවලට සම්බන්ධ නඩු සඳහා පෙනී සිටීම ප්‍රධාන වශයෙන්ම සිදුකර ඇති බවයි වාර්තා වෙයි.
දිවයිනේ ප්‍රදේශ රැසක එවැනි නඩු සඳහා පෙනී සිටිමින්, පොලිසිය අත්අඩංගුවට ගන්නා අපරධකරුවන් පොලිස් ස්ථාන තුළදී හා විමර්ශන ඒකක වෙත ගොස් හමුවීම සහ බන්ධනාගාරවලට ගොස් හමුවීම සිදුකරමින් සිය වෘත්තීය කටයුතු කර ඇති බව ද සඳහන් වේ.
ඔහු කලකට ඉහතදී අපරාධකරුවකුවන ජයලත් සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා නැමැත්තාගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිට ඇති බවයි වාර්තා වේ.
අනතුරුව ඔහුගේ ප්‍රතිවාදියාවන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටීගේ නඩු කටයුතු සඳහා පෙනී සිට තිබේ.
ලොකු පැටී බෙලරූස්හීදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමෙන් පසුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා සිටි කාලයේදී ඝාතනය වූ නීතීඥවරයා එහි පැමිණ ඔහු හමුවී අවශ්‍ය නීති උපදෙස් ද ලබාදී ඇති බවයි වාර්තා වෙයි.
ලොකු පැටී විසින් මෙහෙයවූ බව කියන ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාළ නඩුව ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබූ නඩුවටද ඔහු පෙනී සිට ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඒ අනුව ඔහු ලොකු පැටී සමග සබඳතා පැවැත්වීම නිසා තමන්ගේ රහස්‍ය තොරතුරු ඔහුට ලබාදී ඇතැයි ඇති වූ සැකය මත කරන්දෙණියේ සුද්දා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිසිය සැකපළ කෙරේ.
මෙම ඝාතනයත් සමග කරන්දෙණියේ සුද්දාගේ නීති කටයුතු සිදුකරන පාර්ශ්ව වෙත ප්‍රහාරයක් එල්ලකිරීමට ලොකු පැටී පාර්ශ්වය විසින් සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
කරන්දෙණිය සුද්දා සහ ලොකු පැටී
ජයලත් සිල්වා නොහොත් “කරන්දෙණිය සුද්දා” විදෙස්ගතව සැඟව සිටින මෙරට ප්‍රධානපෙලේ අපරාධකරුවකු ලෙස හැඳින් විය හැකිය.
ඔහු හමුදාවෙන් පලායෑමෙන් අනතුරුව දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිය අපරාධ කටයුතු මෙහෙයවා තිබේ.
“කරන්දෙණිය සුද්දා” මනුෂ ඝාතන කිරීම සඳහා කොත්ත්‍රාත් ලබා ගන්නා අයෙකු බවත් ඔහු විසින් මත්ද්‍රව්‍ය ජවාරම සහ මන්කොල්ල කෑම් වැනි අපරාධ සිදුකර ඇති බවටද පොලිස් වාර්තා පෙන්වා දෙයි.
සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටීගේ නම වැඩිවශයෙන් කතාබහකට ලක් වන්නේ, ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙසට ඔහු හඳුනාගැනීමත් සමඟය.
සංවිධානාත්මක අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ වූ ඔහු 2024 වසරේ අගෝස්තු මස බෙලරූස්හීදී අත්අඩංගුවට පත්විය.




